සුඩාන සරණාගතයින්ගේ කඳුළු

දිවි ගලවා ගැනීමේ අපේක්ෂාවෙන් උපන් බිමෙන් පිටවන සුඩාන වැසියන්..

by Shehani Sandeepa 30-04-2023 | 10:01 AM

COLOMBO (News 1st) -  ඊජිප්තුව හා සූඩානය වෙන්වන දේශ සීමාව ආසන්නයේ දහස් ගණනක් වූ සුඩාන වැසියන් සිය ජීවිතය අපේක්ෂාවෙන් බලා සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එයට හේතුව වී ඇත්තේ, ඊජිප්තු දේශ සීමාව පසුකිරීමට අමෙරිකානු ඩොලර් 40,000ක මුදලක් අය කිරීමට ඊජිප්තු බස් සේවාවන් තීරණය කර තිබීමයි.

මෙම තත්ත්වය නිර්මාණය වීමට හේතු වී ඇත්තේ අදාළ දේශ සීමාව පසුකිරීමට අවසර ඇත්තේ විශේෂ අවසරපත්‍රලාභී බස් රථවලට පමණි.

එසේම මෙම දේශ සීමාව පාගමනින් පසු කිරීමට කිසිසේත්ම අවසර දී නොමැත. 

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම ස්ථානයේ රැඳී සිටින 88 හැවිරිදි කාන්තාවක් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ එම දේශසීමාව ආසන්නයේ කිසිදු මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හෝ නොහැකි බවයි.

මෙහි සිටින බොහෝ පිරිස් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලත් අයවලුන් වන අතර එම ජනතාව බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටින්නේ තමන් වෙත සරණක් වන ලෙස ය.

විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එක් සුඩාන වැසියෙකු පැවසුවේ, සිය දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තමාට වගකිව නොහැකි බරපතළ තත්ත්වයකට තමා මුහුණ පා ඇති බවත්, කටුක කාන්තාර ප්‍රදේශයේ තමා ඇතුළු පිරිස් පීඩාවට පත් වන බැවින් හැකි පළමු අවස්ථාවේම තමා ඇතුළු වැසියන් මුදවා ගැනීමට අවැසි කටයුතු දියත් කරන මෙන් තමා බ්‍රිතාන්‍ය රජයෙන් අයැද සිටින බවයි.

වැඩිදුරටත් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය දිනවලදී අ.ඩො. 3000ක මුදලකට ගමන් ගත් බස් රථ සේවා මෙවන් දුෂ්කර අවස්ථාවදී අ.ඩො. 40,000ක් දක්වා අයකිරීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි.

මුදල් සපයා ගැනීමට හෝ මුදල් ලබා ගත හැකි බැංකු ATM පහසුකම් හෝ නොමැති පසුබිමක සිය ජීවිතය බේරා ගැනීමේ අරමුණින් පළායන වැසියන්ගෙන් මෙසේ අයථා ලෙස මුදල් අයකිරීමට එම බස් රථ සේවාවන් තීරණය කර තිබීම මනුෂත්වයට කෙරෙන නිගාවකි.

සුඩානය තුළ ඇවිලී ගිය යුදමය වාතාවරණය මධ්‍යයේ සටන්කාමීන් සිය නිවාස හා දේපොළ අත්පත් කර ගනිමින් ඇතැයි ද දිවි ගලවා ගැන්මේ අපේක්ෂාවෙන් ඊජිප්තු දේශ සීමාවේ රැඳී සිටින සුඩාන වැසියන් පවසති.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ,පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දිවි ගලවා ගැන්මේ අරමුණින් සිය රටින් පිටව ගිය සංඛ්‍යාව 897ක් බවයි.

තත්ත්වය එසේ පවතිද්දී තවත් සිය ගණනක් වූ වැසියන් ගුවන් මගින් පිටව යාමේ අපේක්ෂාවෙන් පෝට් සුඩාන් ගුවන්තොටෙහි රැඳී සිටිති.එයට හේතුව වී ඇත්තේ හදිසියේ ඇති වු යුදමය වාතාවරණය නිසා තානාපති කාර්යාල ආදී ආයතන සිය සේවා අතරමග නවතා දැමීම හේතුවෙනි.

විදෙස් ගමන් බලපත්‍ර මෙන්ම වීසා අපේක්ෂාවෙන් අදාළ තානාපති කාර්යාල වෙත සිය දත්ත හා තොරතුරු ලබා දුන්න බොහෝ පිරිස් මේ හේතුවෙන් දැඩි අසීරුතාවයට පත් වී තිබේ.

හමුදා පාලනයක් යට‍තේ ඇති සුඩානය, සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සළකා බැලීමත් සමග එරට අතුරු හමුදාවක්, සුඩාන හමුදාවට එරෙහිව සටන් ආරම්භ කළේ මීට සති දෙකකට පමණ පෙරයි.