බදුල්ල සහ කෑගල්ලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක රැසකට අකුණු සමග තද වැසි: අධික වර්ෂාවත් සමග බදුල්ල සහ කෑගල්ලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

by Staff writer 29-04-2023 | 7:07 PM

COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 2 කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අද (29) රාත්‍රියෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය.

එම ප්‍රදේශවල ජනතාව, නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළව ගිලා බැසීම් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු වේ.

කෑගල්ල නගරයේ විකල්ප මාර්ගය අද (29) පස්වරුවේ සිට වසා දැමීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් එම පියවර ගත් බවයි. 

අද පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැවති අධික වර්ෂාවත් සමග බියගම කඩුවෙල මර්ගය, නවගමුව කඩුවෙල මාර්ගය හා ඒ අවට අතුරු මාර්ග ජලයෙන් යට වුණි. 

මේ අතර කෑගල්ල නගරයේ වෑවලදෙණිය විහාරස්ථාන මාවතත් අද පස්වරුවේ ජලයෙන් යටවිය.

අප වාර්තාකරු පැවසුවේ, ගමනාගමන කටයුතුවලට ද බාධා වූ බවයි. 

අද රාත්‍රියෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. 

සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.