ශ්‍රී ලංකාවට විශිෂ්ට ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක්

BREAKING : ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පිටියේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය වාර්තා කරයි

by Staff writer 28-04-2023 | 2:32 PM

COLOMBO (News 1st) – ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ සියවැනි ටෙස්ට් තරග ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. 

ඒ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අයර්ලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10 කින් ජය ගනිමිනි. 

සංචාරක අයර්ලන්තය සමග පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2ට 0ක් ලෙස ජය ගැනීමට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

පළමු ඉනිමේදී අයර්ලන්තය සියලු දෙනා දැවී රැස් කල ලකුණු 492ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 704ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීය. 

එහිදී නිෂාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස් ද්විත්ව ශතක රැස් කළ අතර නායක දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ශතක රැස් කිරීමට සමත් වූහ. 

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 202කට දැවී ගියේ ය. 

ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක්වුණේ අඩුම ටෙස්ට් ක්‍රිකට් තරග සංඛ්‍යාවකදී කඩුලු 50 සීමාව පසු කළ දග පන්දු යවන්නා ලෙසයි.