තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කෙරේ

අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ තරුණයෙක්‍ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කෙරේ

by Staff writer 28-04-2023 | 3:41 PM


COLOMBO (News 1st) – අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු තියුණු  ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ රෝහලේ 66 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු එලෙස මියගොස් ඇති බවයි.

අද (28) අලුයම වාට්ටුවට පැමිණි පුද්ගලයෙකු ඔහුගේ අත හා කකුලකට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, ඉන් තුවාල ලැබු තරුණයා අධික රුධිර වහනය හේතුවෙන් අද (28) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

තරුණයින් තිදෙනෙකු අතර මැදවච්චිය ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමකින් අනතුරුව තුවාල ලබා සිටි අදාළ තරුණයා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර ඒවා අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.