2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධනය සෘණ 7.8ක්..

2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධනය සෘණ 7.8 ක් - ශ්‍රී ලංකා මහ බැංකුව

by Staff writer 27-04-2023 | 5:09 PM

 COLOMBO (News 1st) –  2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධනය සෘණ 7.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

ඒ, ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අද(27) එළි දක්වමින් ය.

මේ වසරේ ආර්ථික වර්ධනය ද සෘණ 2 ක් වනු ඇති බව මහ බැංකුවේ පුරෝකථනයයි.

මහ බැංකුව වාර්තාව අද නිල වශයෙන් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවේ ය.

ඒ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වැනි වාර්ෂික වාර්තාව වන මෙහි දැක්වෙන්නේ, නිදහස් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තාවූ අසීරුම ආර්ථික කාල පරිච්ඡේදය 2022 බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ අයවැය හා ගෙවුම්ශේෂ හිඟයන්ට මුහුණ දී සිටි ශ්‍රී ලංකාව  2022 වනවිට දේශීය හා විදේශීය මූලාශවලින් පැන නැගුණු අභියෝගයන්ට මුහුණදීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටි බව මහ බැංකු වාර්තාවේ සඳහන් ය.

එවන් පසුබිමක බදු අඩුකිරීම, කිසිදු පූර්ව සුදානමකින් තොරව කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම, විදේස් සංචිත අවසන් වනතුරු විදේශීය ණය ගෙවීමට උත්සාහ දැරීම මෙන්ම පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි අවදානය යොමු නොකිරීම වැනි හේතු තුළින් ආර්ථිකය අති විශාල කම්පනයකට මුහුණ දුන් බව ද එහි දැක්වෙයි. 

මේ හේතුවෙන් විදේශ මූල්‍ය අර්බුදය සමාජ ආර්ථික ප්‍රශ්නය සමාජ දේශපාලනික ගැටලුවක් දක්වා වර්ධන වීම තුළ ව්‍යාපාරික විස්වාසය කඩා වැටීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම, ජීවන හා නිෂ්පාදන පිරිවැය සීඝ්‍ර ලෙස ඉහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙයි. 

ඒ අනුව පසුගිය වසර තුළදී ඉන්ධන මිල ගණනන් 185% කින් බස් ගාස්තු 140% කින් ජල ගාස්තු 120% විදුලිය 114% කින් ඉහළ ගොස් ඇති බව සඳහන් ය.

ආහාර සැලකීමේදී පාන් 166% කින් කිරිපිටි 150% කින්, පළතුරු 112% කින් ආදි ලෙස ඉහළ මිල ගණන්ද පෙර නොවූ විරු ලෙස එම වසර තුළ ඉහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙයි. 

මෙම භාණ්ඩ සේවාවල මිල ගණන් ඉහළ යාම තුළ මෙරට පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව විශාල ලෙස පහළ ගොස් ඇති බව සඳහන් ය.

පෞද්ගලික අංශ සේවකයාගේ මිලදී ගැනීමේ හැකියාව 22.7 % කින් ද රාජ්‍ය සේවකයාගේ 20.6% කින් පහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.