.webp)
COLOMBO (News 1st) - WhatsApp යෙදවුම නව්‍ය වෙනසක් සිදු කිරීමට Meta සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව ඔබට තවදුරටත් එකම ජංගම දුරකතන මෙවලමක් ඔස්සේ WhatsApp වෙත අවතීර්ණ වීමට බලා සිටීමට සිදු නොවෙනු ඇති.
මෙම නව ක්‍රමවේදය ඔස්සේ සිය WhatsApp ගිණුම තවත් උපාංග 04ක් වෙත පහසුවෙන් සම්බන්ධ කිරීමටත්,එකම මොහොතකදී අදාළ මෙවලම් 04 ඔස්සේ සිය WhatsApp ගිණුම වෙත අවතීර්ණ විය හැකියාව පවතී.
Meta ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, මාර්ක් සකර්බර්ග්ගේ පැහැදිලි කිරීමක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මින් ඉදිරියට එක් WhatsApp ගිණුමකට දුරකථන හෝ පරිගණක හතරකින් එකවර ප්‍රවේශ විය හැකි බවයි.
විවිධ දුරකතන භාවිත කරන සහ ඒ සියල්ලටම එකම WhatsApp ගිණුමක් අවශ්‍ය අය වෙත මෙම නව ප්‍රවේශය වඩාත් ප්‍රයෝජනවත් වන අතර කුඩා ව්‍යාපාර සඳහා මෙය වටිනා විශේෂාංගයක් ලෙස දැකිය හැකියි.
ඒ, සේවකයින් කිහිප දෙනෙකුට එකම ව්‍යාපාරික අංකයකින් විවිධ දුරකතන වෙත පණිවිඩ යැවීමට සහ ලැබීමට ඉඩ සැළසෙන බැවිනි.
මින් පෙර ද WhatsApp යෙදවුම ඩවුන්ලෝඩ් කර ඇති දුරකතනයට අමතරව තවත් උපාංගයකට QR කේතයක් ස්කෑන් කිරීම හරහා එකම WhatsApp ගිණුමකට ප්‍රවේශ වීමේ හැකියාව පැවැතිණ.
මෙම නව යාවත්කාලීන කිරීම හරහා එකම ගිණුමකට සම්බන්ධ විය හැකි උපාංග ගණන හතරක් දක්වා ඉහළ නංවා තිබෙන අතර ඒ අනුව WhatsApp සඳහා ලියාපදිංචි වී ඇති දුරකථනයට ලැබෙන ඕ ටී පී හෙවත්, එක්වරක් පමණක් භාවිත කළ හැකි මුර පදයක් යොදාගනිමින් වෙනත් උපාංගයකින් ද එම WhatsApp ගිණුමටම ප්‍රවේශ විය හැකියි.
WhatsApp සඳහා ලියාපදිංචි වී ඇති දුරකතනය හෝ WhatsApp ඩවුන්ලෝඩ් කර තිබෙන ප්‍රාථමික දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ කර නොමැති අවස්ථාවලදී පවා අනෙක් උපාංගවලට WhatsApp පණිවුඩ ලබා ගත හැකි වීම මෙහි තවත් විශේෂත්වයකි.
ඉදිරි සති කිහිපය තුළදී මෙය ලොව පුරා සියලුම WhatsApp පරිශීලකයින්ට විවෘත වන බව Meta ආයතනය නිවේදනය කර තිබේ.