දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ නැවැත්විය නොහැකි බව ජනපති කියයි

by Staff writer 26-04-2023 | 10:09 AM

COLOMBO (News 1st) -   IMF ගිවිසුම හැර වෙනත් විකල්පයක් අද ඉතිරිව නොමැති  බවත් වෙනත් ක්‍රියාකාරී විකල්පයක් නොමැතිවීම හමුවේ ඇත්තේ, මෙය අනුමත කිරීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අයි.එම්.එෆ් ණය මුදල පිළිබඳව පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන විවාදයට එක් වෙමින් විශේෂ ප්‍රකාශයක් කරමිනි. 

''අපි ඔක්කොම එකතුවෙලා මේක සම්මත කරමු. ඒ එක්කම මේකෙ අඩුපාඩුකම් තියෙන ඒවා මාස 6 න් 6ට IMF සාමාජිකයින් එන නිසා අපිට සාකච්ඡා කරන්න පුළුවන්'' 

තව ද බැංකු සේවා කඩා වැටීම, කොටස් වෙළෙඳපොළ කඩා වැටීම, සේවක අර්ථසාථක අරමුදලට බලපෑම් එල්ලවීම වැනි කරුණු ඉදිරිපත් වුවත්, දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩපිළිවෙළ නැවැත්විය නොහැකි බව    ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. 

''විශේෂයෙන්ම මේක කරද්දි අපිට තියෙනවා. හැම අංශයක් දිහාම බලන්න.. කාටවත් හානියක් වෙන්නේ නෑ.. සමහර බැංකු කියනවා මේකට මුහුණ දෙන්න බැහැ කියලා මම කියන්නේ එහෙනම් තමන් භාරගෙන ආර්ථිකය ගෙනියන්න. කොටස් වෙළඳපොළේ කියනවා. කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියලා, කඩා වැටුණොත් මං ඒක වහන්නම්. මේක ඇදලා එනකොට මේගොල්ලන්ට කියන්න බෑ. මේ කොන්දේසි ඒ කොන්දේසි අපි කියන්නම් මොකක්ද කරන්න ඕන කියලා, අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ..'' 

මූල්‍ය ස්ථාවරභාවය මෙන්ම අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කරන බව ද  ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය. 

ඇතැම්  වෘත්තිය සමිති බදු පිළිබඳ ප්‍රශ්න ඇති කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ,   එකී ප්‍රශ්න සියල්ල  සාකච්ඡා කර මාස 6 න් 6ට විසඳාගෙන  පසුව  සියලු දෙනා එක්ව එක ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට එකතු වන ලෙසයි. 

''මේ වැඩ කටයුත්ත කරන්න මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක්  බවට පත්වෙමු.  අනෙක් ප්‍රශ්න ගැන විවිධ මත තියෙන්න පුළුවන්. දැන් තියෙන්නෙ 2048ට රට හදන්න. අපි මෙය නොකළොත් අපි තරුණයින් පාවලා දෙනවා. ඒ අයගෙන අනාගතය නැති කරනවා. අන්න ඒ අය දිහා බලන්න. බලය කේන්ද්‍රය ගැන විතරක් හිත්නන එපා..''