.webp)
COLOMBO (News 1st) - පිටකොටුව ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ 55 හැවිරිදි මාකොළ ඥාන මවුලි මාවත ප්‍රදේශයේ කාන්තාවකට හඟුරන්කෙත ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු කෙටි පණිවිඩ එවා තිබේ.
ඒ පිළිබඳ සැලවිමෙන් අනතුරුව එම කාන්තාවගේ බෑණා විසින් වෙනත් තරුණියකගේ ව්‍යාජ ඡායාරූපයක් යොදා ගනිමින් වට්ස්ඇප් ගිණුමක් සකස්කර අදාළ තරුණයා සමග කෙටි පණිවිඩු හුවමාරු කර ඔහු කොළඹට ගෙන්වාගෙන තිබේ.
පසුගිය 19 වැනිදා තරුණයා කොළඹ කොටුවට පැමිණි අවස්ථාවේදි අදාළ කාන්තාව, ඇයගේ දියණිය, බෑණා සහ තවත් පුද්ගලයෙකු මෝටර් රථයකින් ගොස් තරුණයා පැහරගෙන සපුගස්කන්ද ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
පොලිසිය පැවසුවේ, සැකකරුවන් තවත් පුද්ගලයින් 4 දෙනෙකු සමග එක්ව සපුගස්කන්ද පමුණුවිල කනත්ත අසලදී තරුණයාට පහරදී මාර්ගයේ දමාගොස් ඇති බවයි.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොලිසිය පැමිණ තරුණයා රෝහල්ගත කළ බව පොලිසිය සඳහන් කළේ ය.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.