පාපැදිකරු තල්ලු කළ තවත් පාපැදිකරුවෙක්ට වැඩ වරදී

ජය කණුව පෙනි පෙනී සිටි පාපැදිකරුවෙක් තල්ලු කළ තවත් පාපැදිකරුවෙක්ට වැඩ වරදී

by Staff writer 25-04-2023 | 8:52 PM

COLOMBO (News1st) - ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අවාසනාවන්ත සිදුවීමක් හිරණ ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වුණා.

හිරණ, තේක්කවත්ත ප්‍රදේශයේ පෙරේදා පැවති බක් මහ උළෙලක පාපැදි තරගයකදී ජයග්‍රාහී මොහොතට ලංවෙමින් සිටි පාපැදිකරුවෙකු තවත් පාපැදිකරුවෙකු විසින් තල්ලු කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ අනතුරින් එම පාපැදිකරුට බරපතළ තුවාල සිදුව තිබෙන බවයි. 

එහිදී පාපැදිකරු මාර්ගය අසළ තරගය නරඹමින් සිටි අවුරුදු 11ක් පමණ වයසැති  කුඩා දරුවෙකුගේ ද ඇගේ ගැටී තිබෙන අතර එම දරුවා ද රෝහල්ගත කර තිබෙනවා.  

කුඩා දරුවා සහ තුවාල ලැබූ පාපැදිකරු  පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර සුසුම්නාවට සිදුවූ බරපතළ හානිය හේතුවෙන් පාපැදිකරු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව පොලීසිය පවසනවා. 

මෙලෙස තුවාල ලැබා ඇත්තේ, යුද හමුදාවේ කෝප්‍රල්වරයෙක්.

අනතුර සිදු කළ පාපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද යුද හමුදා සෙබෙළෙක් බව පොලීසිය පවසනවා. 

පොලීසිය සඳහන් කළේ, සැකකාර යුධ හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හැරී බවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් හිරණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.