එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ලංකාවට හිමිවෙයි ද?

Sea of SriLanka කලාපයට බරපතළ හානි කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ නඩු කටයුතු ලංකාවෙන් පිටතට

by Staff writer 22-04-2023 | 9:01 PM

COLOMBO (News 1st) - අපේ රටටත් සී ඔෆ් ශ්‍රී ලංකා මුහුදු කලාපයටත් සිදු වූ බරපතළම විනාශය 2021 මැයි මස 20 වැනි දා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු විය.

තවමත් ඉන් සිදූ වූ හානිය පිළිබඳව මෙරට බලධාරීන්ට නිසි තක්සේරුවක් නෙමැති වීම කණගාටුවට කරුණකි.

මේ විනාශය සම්බන්ධයෙන් අයකරගත යුතු වන්දි මුදල් ගැනවත් වගකිවයුතු බලධාරීන්ට හා නිලධාරීන්ට කිසිදු තැකීමක්වත් නැත.

දැන් අදාළ වන්දි මුදල් අයකර ගැනීම පිළිබඳව යළි සංවාදයක් මතුව ඇත්තේ මෙවන් පසුබිමකයි.

ඔබට මතක ද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ ගිලි මේ වනවිට වසර දෙකකට ආසන්නයි.

නෞකාවේ අනතුරුදායක භාණ්ඩ බාහලුම් 81 හා නයිට්‍රික් අම්ලය ටොන් 25 ක් මුළු මනින්ම ගිණිගෙන විනාශ වුණේ, සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට බරපතළ රසායන අවි ප්‍රහාරයකට නොදෙවෙනි අතිදැවැන්ත විනාශක් සිදු කරමිනි.

එක්ස්ප්‍රර්ස් පර්ල් නෞකාව රසායනික ද්‍රව්‍ය කාන්දුවක් පැවතීම හේතුවෙන් එවක වෙනත් වරායන්වලින් ප්‍රතික්ෂේප වූ නෞකාවකි.

එහෙත් මෙරට බලධාරීන් අදාළ රසායනික ද්‍රව්‍ය කාන්දුව කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ එක්ස්ප්‍රස් පර්ල් නැවට කොළඹ පිටත වරාය පරිශ්‍රයට ඇතුළ්වීමට අවසර ලබාදුන්නේ සිදුවන්නට යන විනාශය ගැන අබමල් රේණුවකවත් තැකීමක් නොමැතිවයි.

දින ගණනාවක් පුරා එක්ස්ප්‍රස් පර්ල් නැව රසායනික ද්‍රව්‍ය සමග ගිණිගනිමින් සී ඔෆ් හ්‍රීලංකා සාගර කලාපයම වනසා දැමුවේ ය.

මතක ද?

නෞකාව ගිණිගනිමින් බහලුම් පුපුරා යද්දී මුදාහැරුණු අපද්‍රව්‍ය අපේ වෙරළට ගොඩගැසූ හැටි.

ප්ලාස්ටික් පැලට්ස් සහ වෙනත් අපද්‍රව්‍ය වෙරළට ගොඩ ගැසූ හැටි.

ඒ සමගම කැස්බෑවුන්, තල්මසුන්, ඩොල්ෆින් ඇතුළු දහස් ගණනක් සාගර ජීවින් මියගොස් වෙරළට ගොඩගැසූ ආකාරය.

මතක ද?

ලොව පරිසරවේදීන් හා විදෙස් මාධ්‍ය මෙය 21 වන සියවසේ ලොව සිදු වූ බරපතළම සාගර විනාශය ලෙස හඳුන්වද්දී මේ විනාශයේ බරපතළකම තක්සේරු කර ගැනීමටත් නිසි විද්‍යාත්මක සාම්පල හා දත්ත ලබාගැනීමත් කළ යුතු බවත් නිව්ස්ෆස්ට් අවධාරණය කළේ ය.

නිව්ස්ෆස්ට් විටින් විට මේ විද්‍යාත්මක සාක්ෂි රැස් කිරීමත් වන්දි ලබා ගැනීමට අවශ්‍ය නෛතික කටයුතු කිරීමත් කඩිනම් කළ යුතු බවට අවධාරණය කළේ ඒ නිසයි.

මතක ද?

ඒ වගේම මේ පරිසර වන්දිය අයකර ගැනීමේ රක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කළ යුතු බවත් මෙහි රක්ෂණ සමාගම සහ වන්දි තක්සේරුකරණ ක්‍රියාවලියේ ඇති සංකීර්ණ භාවයත් නිව්ස්ෆස්ට් පෙන්වා දුන්නේ ය.

ඒ විතරක් නෙවෙයි මාවත විද්වත් කථිකාවතේදීත් අපි මේ සම්බන්ධයෙන් පැය ගණන් දැනුවත් කළෙමු.

ඒ වගේම ජීවිත අවදානම නොතකා අපි අපේ සාගරයට වූ හානය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න රළු මුහුදේ නැව අසළටම ගමන් කළේ ය.

නමුත් සිදුවුණේ මොකක් ද?

සිදු වූ හානියට වන්දි අය කරගන්න අදාළ නිලධාරීන් පියවර ගත්තා ද? 

වගකිය යුතු රජයේ ආයතන මේ සිද්ධීයේදි අනුගමනය කළේ උදාසීන මලානික පිළිවෙතකි.

ගණන් බලලා තියෙන විදිහට සිදු වූ සමස්ත හානියට අයකර ගන්න පුළුවන් මුදල ඩොලර් මිලියන 6400 කට අධිකයි.

නමුත් මේ වෙනකම් ලබාගෙන ඇති වන්දි මුදල ඩොලර් මිලියන 10 ක් පමණයි.

ලොව වෙනත් රටක් අසළදී මේ අනතුර වූයේ නම් මේ වනවිටත් ඩොලර් බිලියන ගණනක වන්දියක් අයකරගෙන අවසන් ය.

අපි බලමු මොනවාද ජාත්‍යන්තර අද්දැකීම්

මතක ද?

2010 වසරේ මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුදේ බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම් සමාගම පවත්වාගෙන ගිය බොරතෙල් ආකරයේ හටගත් ගින්නෙන් අමෙරිකාවේ සමුද්‍ර පරිසරයට දැඩි හානියක් සිදු විය.

මේ පරිසර හානිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම් සමාගමට අපරාධ චෝදනා යටතේ නඩු ගොනු කළ අමෙරිකාව ඩොලර් බිලියන 4 ක දඩයක් අයකර ගත්තේ ය.

මෑතකදී සූවස් ඇළේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිරවීම නිසා සිදු වූ අවහිරවීම මතක ද?

සිදු වූ හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 550 ක වන්දියක් ගෙවන ලෙස ඊජිප්තුව මේ වනවිට අදාළ නෞකාව අයත් සමාගමට නියෝග කර ඇත.

ඒ උදාහරණ කීපයක් පමණයි.

දැන් අපේ රටේ මොකද වෙන්නේ?

අපේ අධිසංවේදී සාගර කලාපය දැන් මේ සිද්ධිය නිසා මළ මුහුදක් බවට පත්වීමේ අවදානමකට ලක්වී ඇත.

කොරල් පර, සාගර ජීවින්, කැස්බෑවුන්, ඩොලෆින් සත්ත්වයින්, තල්මසුන් රොතු පිටින් වෙරළට ගොඩ ගැසුවේ ය.

ඒ විතරක් නෙවෙයි දැන් මුහුදු බත් වෙලා තියෙන එක්ස්ප්‍රස් පර්ල් නැව හරියට අපි බඩේ බැඳන් ඉන්න බෝම්බයක් වගේ.

ඇයි එහෙම කියන්නේ?

තාමත් නැවේ බංකර් ඔයිල් තොගයක් ක් ඇත.

ලවනතාවත් එක්ක නැව් බැඳ ශීඝ්‍ර දිරායාමකට ලක් වුණොත් බංකර තෙල් යළිත් අපේ සාගරයට එක් වෙන්නත් පුළුවනි.

දැන් අපි මේ අවදානම් තක්සේරු කළා ද?

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක් බොහෝම අමාරුවෙන් ගන්න නොකරන දෙයක් නැති තරම්.

නමුත් හරියට පියවර ගත්තා නම් අද අපිට විදේශ විනිමය අර්බුදයක් නැත.

මතක ද?

දැන් දින කිහිපයකට කළින් අධිකරණ ඇමතිතුමා කිව්වා වන්දිය ලබාගන්න වැඩේ පාවල දෙන්න ඩොලර් මිලියන 250ක අල්ලසක් ගත්තා බව?

දැන් අලුත්ම තත්ත්වය?

ලබන මැයි 20 වැනි දාට එක්ස්ප්‍රස් පර්ල් නැව ගිණිගෙන අපේ සී ඔෆ් ශ්‍රී ලංකා මුහුද විනාශවෙලා අවුරුදු 02ක් සම්පූර්ණ වේ.

දින ගණනින් බැලුවොත් දින 730ක්. පැය 17520ක්.

දැන් පරිසර හානියේ වන්දිය අයකර ගන්න නඩු දාන්නේ මොන රටේ ද? මේක ගැන පැය 17000ක් යනකමුත් තීරණයක් නැත.

අද අධිකරණ ඇමතුමා කියනවා විදේශයක නඩු දාන්න කැබිනට් අනුමැතිය ලැබුණලු.

මේ නැව ගමන් කළෙ සිංගප්පූරු ධජයක් යටතේය.

දැන් නඩු දාන්න යන්නේ සිංගප්පූරුවේ.

විද්වතුන් පෙන්වා දෙන ආකාරයට යම් කිසි රජයක් වෙනුවෙන් නීතිපතිතුමා නඩුවක් පරද්දී ලංකාවේ පවරනවා නම් ඒකට කාල සීමක්වක් නැත.

නමුත් සිංගප්පුරු රටේ පවරනවා නම් අවුරුදු 2 ක් ඇතුළත පැවරිය යුතුයි. 

නැව් සමාගමෙන් වන්දි ලබා ගන්න සිංගප්පුරුවේ නඩු පැවරීම ඉතා වියදම් අධික හා ලංකාවට අවාසි සහගත තත්ත්වයක් බව විද්වතුන් පෙන්වා දෙන කරුණකි.

ගුවන් ගමන්, නවාතැන්, නීතිඥ වියදම් අතිහිශාල මුදලකි.

දැන් මොනවා කරන්නත් තියන්නේ පැය 700කටත් අඩු ගාණකි.

දැන් මොකක්ද කරන්නේ?

අපේ රටට සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට වසර සිය දාස් ගණනක් බලපෑම් කරපු විනාශයකට තවමත් භයානක තෙල් කාන්දුවක අනතුරක් රඳවාගෙන තියෙන අනතුරක වන්දිය ගන්න කඩිනම් පියවර ගතයුතු නොවේ ද?

අපේ රටේ අධිකරණ පද්ධතිය විශිෂ්ට එකකි නමුත් ඒ අධිකරණ පද්ධතිය තුළ නඩු ඇසීමට අවශ්‍ය පියවර අරගෙන රටට වාසියක් අත්කරදෙන්න අපේ බලධාරීන්ට නුවණ පැදෙන්නේ කවදා ද?