යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන්- කාදිනල් හිමි

යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන් ඉන්නවා - කාදිනල් හිමිපාණන්

by Staff writer 21-04-2023 | 1:01 PM

 

COLOMBO (News 1st) –   පාස්කු ඉරිදා ත්‍රස්ත  ප්‍රහාරයට යුක්තිය ඉටු වන තුරු අවදියෙන් පසුවන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. 

පාස්කු ඉරිදා ත්‍රස්ත  ප්‍රහාරයට වසර 4ක් සපිරීම නිමිත්තෙන්  අද උදෑසන  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ  පැවති   ප්‍රධාන සැමරුම් උත්සවය අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කළ ප්‍රකාශය හරහා ඔහු සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට පත් කර, අපහසුතාවට පත් කර ඇති බවයි.    


''මෙම ප්‍රහාරය මතුපිටින් පෙනෙන අයුරින් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් වුවත් එය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බවට පාර්ලිමේන්තු තේරිම් කාරක සභා වාර්තාව පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබෙනවා. මේ අතරම හිටපු නීතිපති දප්පුල ද ලිවේරා 2021 මැයි 1 වන දින නිව්ස්ෆස්ට්හි සුල්ෆික් ෆර්සාන් නමැති මාධ්‍යවේදියා සමග කළ සාකච්ඡාවේදී කළ ප්‍රකාශය, දැන් ඒ මහතා සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට ඇද දමා ඒ මහතා අපහසුතාවට පත් කර සැබෑ චූදිතයන් සොයා  යන්නට තමන්ට නොහැකිවීම වසා ගනිමින් පොලිසිය හා ආරක්ෂක අංශ කටයුතු කරන බව දැන් පැහැදිලි වෙමින් පවති. ඔවුන් කළ යුත්තේ එවැනි දෙයක් නෙවා ඒ මහතා පොලිස්පතිතුමාට ලැබ දුන් පිටු 189ක වාර්තාව කියවා බලා එහි කරුණු විමර්ශනය කිරීමයි.  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ඇතැම් වගකිව යුත්ත්ට ජනාධිපති කොමිෂන් සභාව කර ඇති නිරේදේශවත්  ක්‍රියාත්මක කරන්නට මැලි වන නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිසියත් ප්‍රසිද්ධියේ කිඹුල් කඳුළු හෙළුවත් ,   පිළිබඳව අවංකව ක්‍රියාදාමයට පියවර තැබීමට මැලි වන රජයත් පිළිබඳව අපි බලවත් ලෙස කනගාටු වෙමු. වත්මන් ජනාධිපතිතුමා සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා මේ නොබෝදා තමන් කතෝලික සභාව සමග අවංක සංවාදයකට සූදානම් බව ප්‍රකාශ කළේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය රැක ගනිමින් දැයි අපිට ප්‍රශ්නයක් නැගනෙවා. ඒකාධිපතිවාදය රජ කරනවා ජනතා පරමාධිපත්‍යට පයින්ගසන්නට පියවර ගන්නා අප රටේ අද පවත්නා නායකත්වය පිළිබඳව අපිට විශ්වාසය තැබිය නොහැකියි. ආදරණීය දෙවි පියාණන්ගෙන් ඉල්ලා සිටින්නේ, අපේ  මේ හඬට සවන්දී පාස්කු ඉරුදින සිදුවුණේ කුමක් දැයි අපිට පෙන්වා දෙන්නට කටයුතු කරන ලෙසයි. ඒලෙසම අප රට තුළ ලබා ගත් ඒක්සත් කමේ ජයග්‍රහණය කිසිවෙකුට පරාජය කරන්නට ඉඩ නොදෙන ලෙසයි.  සියල්ලන්ට අපි දැනුම් දෙන්නේ, යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන් ඉන්නවා ''

මේ අතර සැමරුම් උත්සවය අමතමින්  දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්  කාදිනල්තුමන් ප්‍රමුඛ  මෙම ව්‍යායාමයේ නියමුවන්ට ආරාධනා කර සිටියේ,  බෞද්ධ රටක් යැයි කියා ගන්නා මෙ රට තුළ යුක්තිය සාධාරණය ඉටු වන්නේ නැත්නම්,  සාධාරණය ඉටු කර ගැනීම සඳහා ජාත්‍යන්තරයට යාමට ක්‍රියා කරමු යනුවෙනි. 


''ආගමික ත්‍රස්තවාදය ආගමික අන්තවාදව නැමති වාහනය පදවනු ලැබුවා ආත්මාර්ථකාමී බලකාමී දේශපාලන දේශපාලනඥයින් විසින්. බලකාමී ආත්මාර්ථකාමී දේශපාලඥයන් විසින් පදවන ලද ඒ වාහනයෙන් සිදුවුණු අනතුරට වගකියන්න කෙනෙක් නැති තත්වයකට පත්වෙලා.  රටක ආරක්ෂාව සැලසීම තමයි පාලකයා සතු පලමු යුතුකම එය ඉටු නොවුණු තැනයි මෙවන් ඛේදවාචකයක් සිදු වෙලා තියෙන්නේ. අද අපි කඳුලින් සමරන්නේ ඒ සිදු වුණු ඛේදවාචකය. මේ තරම් රටක් දූෂණයට පත් කළ, මෙතරම් තමන්ගේ වගකීම ඉටුකිරීමේ අසමත්වූ පාලකයෝ ඉන්න එකම රට ශ්‍රී ලංකාව.බෛෟද්ධ රටක් යැයි කියා ගන්නා මෙ රට තුළ යුක්තිය සාධාරණය ඉටු වන්නේ නැත්නම්, ධර්මද්වීපය යැයි කියා ගන්නා මේ රට තුළ ධර්මය දකින්න බැරි නම්, අපි ආරාධනා කරනවා ජාත්‍යන්තරයට යමු කියලා ජාත්‍යන්තරයෙන් වත් සාධාරණය ඉටු කර ගැනීම සඳහා කාදිනල්තුවන් ප්‍රධාන මේ මහා ව්‍යායාමයේ නියමුවන්ට අපි ආරාධනා කරනවා යමු ජත්‍යන්තරයට යුක්තිය සාධාරණය ඉල්ලගෙන ''
 

පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් හා තුවාල ලැබූවන්ට යුක්තිය හා සාධාරණය ඉෂ්ට කරනැයි ඉල්ලමින් සංවිධානය කර තිබූ  මෙම සැමරුම් උළෙලට සර්ව ආගමික නායකයින් ,විදේශ තානාපතිවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.