පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරයි

ජීවිත බිලි ගත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරයි

by Staff writer 21-04-2023 | 6:17 AM

COLOMBO (News 1st) –  පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට අදට(21) වසර 4කි. 

ඒ වෙනුවෙන් දිවයිනේ දේවස්ථාන රැසකදී දේව මෙහෙයන් සංවිධාන කර ඇත්තේ , පාස්කු ප්‍රහාරයෙන් මෙලොව හැර ගිය පිරිස් සිහි කරමින් ය.

2019 අද වැනි දිනක මෙරට අඳුරු වළාවකින් වැසී ගියේ පාස්කු ඉරිදාව සමරමින් දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගි වූ කතෝලික ජනතාව ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත්‍ ප්‍රහාරය හේතුවෙන් ය.

මෙරට දේවස්ථාන 3 ක් ඇතුළු කොළඹ හෝටල් හා අවන්හල් 7කට එදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 269 කි. 

තවත් පිරිසක් ආබාධිතයින් බවට පත් වූයේ එම අමිහිරි මතකයන් යළි යළිත් අප ඉදිරියේ මවාපාමින් ය.

පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසර හතරක් සපිරුණ ද ඊට වගකිව යුත්තන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැහැ.

කොළඹ අගරුදගුරු පදවියේ ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, ප්‍රහාරයට වගකිවයුත්තට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින් අද උදෑසන මීගමුව කොළඹ මාර්ගය දෙපස ජන පවුරක් නිර්මාණය කරන බවයි.

මේ අතර , පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 4 ක් සම්පූර්ණ විමට සමගාමීව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ආරම්භ වූ පා ගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය කරා මේ වනවිට ළඟා වෙමින් පවතී. 

මෙය නම් කර ඇත්තේ, සත්‍ය හා යුක්තිය සොයා අබ්බා පියාණන් වහන්සේට මොර ගසන යැඳුමේ පා ගමන ලෙසයි.