සුඩානයේ යුරෝපා සංගම් තානාපතිවරයාට ප්‍රහාරයක්

සුඩානයේ යුරෝපා සංගම් තානාපතිවරයාට ප්‍රහාරයක්

by Staff writer 18-04-2023 | 9:32 AM

COLOMBO (News1st) - සුඩානයේ යුරෝපා සංගම් තානාපති ඒඩ්න් ඔහාරා මහතාට ප්‍රහාරයක් එල්ල වී තිබේ. 

අයර්ලන්ත ජාතිකයෙකු වන ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. 

සුඩාන පාලනයට එරෙහිව පැරාමිලිටරි කණ්ඩායමක් ආරම්භ කර ඇති සටන් අතරතුරදී ඔහුගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙය රාජ්‍ය තාන්ත්‍රිකයින් ආරක්ෂා කිරීමේ වගකීම, බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව මේ පිළිබඳව අදහස් දක්වමින් අයර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

2019 වසරේදී සුඩානය හමුදා පාලනයකට නතුවිය. 

නමුත් රටේ පාලනය සිවිල් රජයක් වෙත පැවරීම පිළිබඳව හමුදාව සළකා බැලීම හේතුවෙන් එරට පැරාමිලිටරි කණ්ඩායමක් මෙම සටන් ආරම්භ කර තිබේ. 

පසුගිය දින තුනේදී කාටූම් අගනුවර ඇතිවූ සටන් හේතුවෙන් පුද්ගලයින් 180 දෙනෙකු පමණ මියගොස් තවත් 1800 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ ය.