හිටපු නීතිපති හෙට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට,හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට

by Staff writer 18-04-2023 | 5:44 PM

COLOMBO (News 1st) - හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (19) පෙරවරු 9ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‌‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට මෙම කැඳවීම කර ඇති බවයි.

2021 වසරේ මැයි මස 17 වැනිදා  හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රකාශයෙන් කියා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි.

රාජ්‍ය බුද්ධි සේවය හෙවත් S.I.S ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කරන ආකාරය , වේලාව , දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන්නේ යැයි, ඔහු එහිදී කියා සිටියේ ය.

මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බව ද, හිටපු නීතිපති  දප්පුල ද ලිවේරා මහතා පෙන්වා දුන්නේ ය.