උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 8කට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

by Staff writer 18-04-2023 | 3:22 PM

COLOMBO (News1st) - දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනුරාධපුර, කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා, මුලතිව්, මන්නාරම, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ අවධානය යොමු කිරීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවයි.

අධික වෙහෙසකාරි කටයුතු සීමා කරන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.