අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 18-04-2023 | 3:19 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරගයක ලැබූ ඉහළම ජයග්‍රහණය අද හිමිකර ගත්තේ ය.

ඒ, අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගනිමිනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 591ක් රැස් කරගෙන සිටියදී, සිය පළමු ඉණිම අත්හිටවනු ලැබීය.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 140 ක් රැස් කළ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න 4 පහර 15ක් සමගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 179කි.

සිය දිවියේ 14 වැනි ටෙස්ට් ශතකය රැස් කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 102ක් රැස්කළ අතර වසර 6කට පසු ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිකරගත් සදීර සමරවික්‍රම සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

අනතුරුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණූ 143 ක් පමණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නැවතත් ක්‍රීඩාලෝලීන්ට අමතක නොවත පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය 
අයර්ලන්ත කන්ඩායමේ කඩුලු 7ක් ලකුණු 52ක් තුළ දවා ගත්තේ ය.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායමට අද සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 168ක් පමණි.

අයර්ලන්ත දෙවැනි ඉනිමේදී රමේෂ් මෙන්ඩිස් ලකුණු 76ට කඩුලු 4ක් දවාගත් අතර අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමට ද ඔහු සමත් විය.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් ලබාගත් අතර සමස්ත තරගයේදීම කඩුලු 8 ක් දවාගත් ඔහුට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

ඒ අනුව අයර්ලන්තයට එරෙහිව අද ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරගයක ලැබූ ඉහළම ජයග්‍රහණය හිමිකර ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයකදී ලැබූ ඉහළම ජයග්‍රහණය මීට පෙර ලබා තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායමට ,එරෙහිව ය.

ඒ 2004 වසරේදී බුලවායෝහිදී පැවැති තරගය ඉනිමකින් සහ ලකුණු 254කින් ජය ගනිමිනි.