දිමුත්ගෙන් සහ කුසල්ගෙන් වාර්තාගත සබඳතාවක්..

දිමුත්ගෙන් සහ කුසල්ගෙන් දෙවැනි කඩුල්ලට වාර්තාගත සබඳතාවක්..

by Staff writer 16-04-2023 | 6:38 PM

COLOMBO (News 1st) – සත්කාරක ශ්‍රී ලංකා - අයර්ලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(16) ආරම්භ කළේය.

පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව  386කි. 

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. 

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ලට නායක දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක අතර සබඳතාව ලකුණු 64කි.

මදුෂ්ක ලකුණු 29කට දැවී ගියේ ය.

අනතුරුව පිටියේ ස්ථාවර වූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේ ය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කරුණාරත්න ලකුණු 100සීමාව පසු කළේ පන්දු 139කින් ය.

ඔහුට අගනා සහයෝගයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිටියේ 8 වැනි ශතකය අද රැස් කළේ ය.

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ලකුණු 281ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

එය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදී දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයි.

මෙන්ඩිස් ලකුණු 140ක් රැස් කළේ ය. 

ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු රැස් කිරීමට හැකි වුණේ නැහැ.

දිමුත් කරුණාරත්න ලකුණු 179ක් රැස් කළේ 4  පහර 15ක් ද සමගින් ය.