ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට මැදිහත්වන්න..-

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට මැදිහත්වන්න..- අමෙරිකානු ජනපති ඇතුළු පරිපාලනයෙන් ඇම්නෙස්ටි ඉල්ලයි -

by Staff writer 16-04-2023 | 10:08 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ යෝජිත ත්‍රස්ත - විරෝධී පනතට මැදිහත් වන ලෙසයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය අමෙරිකානු ජනපති ඇතුළු පරිපාලනයෙන් ඉල්ලා සිටී. 

නිවේදනයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආසියා උපදේශන අධ්‍යක්ෂ කැරොලින් නාෂ් පැවසුවේ, "ත්‍රස්ත විරෝධී පනතේ කෙටුම්පත සෑම මානව හිමිකම් මිණුම් ලකුණකින්ම නිශ්චිතවම අසාර්ථක වන" බවයි.

“බියිඩන් පරිපාලනය ශ්‍රී ලාංකීය ජනතාවගේ අයිතිවාසිකම් අගය කරන්නේ නම්, මෙම නීතිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතු හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැහැදිලි පණිවිඩයක් යැවිය යුතු” බව ඇය අවධාරණය කර තිබේ. 

"මෙම කෙටුම්පත නීතියක් ලෙස සම්මත කකරවිට ඇමරිකානු පරිපාලනය සහ කොන්ග්‍රසය නිශ්ශබ්ද වන්නේ නම්, එය විරුද්ධ මත මර්දනය කිරීමට ඇති හැකියාව තවදුරටත් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා රජයට ඉඩදීමක් බවද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආසියා උපදේශන අධ්‍යක්ෂ කැරොලින් නාෂ් පවසයි. 

ඇය පැවසුවේ, “යෝජිත නීති කෙටුම්පත මානව හිමිකම් ආරක්ෂා කෙරෙන නීති ප්‍රතිසංස්කරණවෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ පෙනී සිටි ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට අපහාසයක් බවයි. 

මෙය නරක නීතියක් වැඩිදියුණු කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ සද්භාවයෙන් දරන ප්‍රයත්නයකට වඩා බොහෝ දුරස්, බවත් එය ඔවුන්ගේ විවේචනයන් ඉලක්ක කර නිශ්ශබ්ද කිරීමට රජයට ඇති හැකියාව ඉහළ නැංවීමේ උත්සාහයක් බවත් අදාළ නිවේදනයේ සඳහන් ය.