ශ්‍රී ලංකා - අයර්ලන්ත ටෙස්⁣ට් සටන හෙට ඇරඹේ..

ශ්‍රී ලංකා - අයර්ලන්ත ටෙස්⁣ට් සටන හෙට ඇරඹේ: නිල දේශීය විකාශන අයිතිය TV1 නාලිකාවට..

by Staff writer 15-04-2023 | 9:43 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකා සහ අයර්ලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(16) ගාල්ලේදී ආරම්භ වේ.

⁣තරගාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය අපගේ TV1 නාලිකාවට හිමිව තිබේ.

තරගාවලියට එක්වන දෙපිලේම ක්‍රීඩකයින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(15) පුහුණුවීම්වල නිරත විය.

තිස්පන් දහසකට අධික සංඛ්‍යාවකට එකවර තරග නැරඹීමේ පහසුකම සහිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමෙන් තොරව නොමිලේ තරග නැරඹීමේ පහසුකම ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ ය.

මේ වනවිට එම ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරග 41ක් පවත්වා තිබේ.

ඉන් තරග 23ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර තරග 11ක් ජයගෙන ඇත්තේ ප්‍රතිවාදී කණ්ඩායම් වේ.

ඉතිරි තරග ජය පරාජයෙන් තොරව අවසන් විය.

හෙට තරගය ගැන අදහස් පල කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න,

"මම හිතන්නේ හරි අමාරුයි බ්ලේම් කරන්න ක්‍රීඩකයින්ට මොකද අවුරුද්දට ටෙස්ට් මැචස් හතරයි පහයි හයයි ඔහොම තමයි අපි සෙල්ලම් කළේ අන්තිම කාලයේදි. ඉතිං හරි අමාරුයි ක්‍රීඩකයන්ගේ ෆෝම් එක තියාගන්න. එච්චර කාලෙකින් ක්‍රීඩා කළත් මං හිතන්නේ සෑහෙන ලෙවෙල් එකකින් ක්‍රීඩා කරනවා. අයර්ලන්තයේ කියලා වෙනසක් නැහැ. මං හිතන්නේ අපි මුලින්ම අපේ බේසික් දේවල් කරන්න ඕනේ. හරි තැනට එන්න. මොකද මූලිකත්වය දෙන්න ඕනේ අපි තරගය ජයග්‍රහණය කරන එක ගැන. ඊට පස්සේ තමයි බලන්න ඕනේ අපේ ගෝල්ස් මොනාද කියලා. තමන්ට සෙල්ලම්  කරන ගමන්ම ඒ  වගේම කණ්ඩායමට අවශ්‍ය මොනවද කියලා දේවල් බලාගෙන කණ්ඩායම  තරගය අවසානයේ ජයග්‍රහණය කරා ගෙනියෑම තමයි අපේ සූදානම තියෙන්නේ." 

ඇන්ඩෘ බැල්බර්නි නායකත්වය දරන අයර්ලන්තය ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙය වේ.

අයර්ලන්තය මේ දක්වා ටෙස්ට් තරගාවලි 4කට සහභාගී වී ඇති නමුත් කිසිදු තරගාවලියක් ජය ගෙන නොමැත.

කණ්ඩායම් දෙකම හෙට තරග බිමට පිවිසෙන්නේ ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.

තරගාවලියේ දේශිය තරග විකාශන අයිතිය හිමි TV 1 නාලිකාව ඔස්සේ සජීවීව තරගාවලියේ සියලු තරග තොරතුරු  හෙට උදෑසන 9.30 සිට ඔබ වෙත ගෙන ඒමට Sports 1st සූදානම්. 

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විශේෂඥ අදහස් ද එම සජීව විකාශයට ඇතුළත් වේ.

TV 1 නාලිකාව මධ්‍යස්ථාන රැසකින් පුළුල් ලෙස දිවයින පුරා ආවරණය වන පරිදි පැහැදිලි දසුන් ඔබවෙත ගෙන ඒමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර අවසන්.