ණය හිමියන් සමග අඛණ්ඩව සම්බන්ධ වීමට රජය කැප වෙනවා..

මූලධර්ම මත පදනම්ව විනිවිදභාවයෙන් යුතුව සියලු ණය හිමියන් සමග අඛණ්ඩව සම්බන්ධවීමට රජය කැපවී සිටිනවා - ජනපති

by Staff writer 14-04-2023 | 8:50 AM

COLOMBO (News 1st) – මූලධර්ම මත පදනම්ව, විනිවිදභාවයෙන් යුතුව සියලු ණය හිමියන් සමග අඛණ්ඩව සම්බන්ධවීමට රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ , ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල් සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ සාකච්ඡාවට එක්වෙමින් ය.

ශ්‍රී ලංකාවට සහයදීම සඳහා අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන් මෙන්ම වාණිජ ණය හිමියන් ද එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. 

මේ අතර, ශ්‍රී ලංකාව මුහුණපා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා කඩිනම් ණය විසඳුමක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා එහිදී ප්‍රකාශ කළේ ය. 

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ණය හිමියන්ගේ සහය අත්‍යවශ්‍ය බවයි.

"සියලු ද්විපාර්ශ්වික ණය හිමියන් සාකච්ඡා සඳහා සහභාගී වී, ණය සමාලෝචන ක්‍රියාවලියකට අවතීරණ විය හැකි බව ඔහු පවසයි. 

කෙන්ජි ඔකමුරා මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩව සහය වන බවයි.