ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන‍ මතය හෙට‍

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන‍ ඉන්දියාවේ, ජපානයේ සහ ප්‍රංශයේ මතය හෙට‍

by Staff writer 13-04-2023 | 9:09 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල ඉදිරි වැඩපිළිවෙළ නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත වේ.

අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදී මෙය සිදුවන්නේ මෙරට වේලාවෙන් හෙට(14) අලුයම 4.30ට පමණ ය.
ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය යන රටවල මුදල් අමාත්‍යවරුන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව වාර්ෂිකව පවත්වන ස්ප්‍රින් සමුළුව හෙවත් වසන්ත සමුළුවට සමගාමීව මෙම නිවේදනය සිදු කිරීමට නියමිත වේ.

මෙරට ප්‍රධාන ණයහිමියන් තිදෙනෙක් වන ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මෙහිදී සිය සැලැස්ම ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

මෙම සාකච්ඡාවට ජපානය වෙනුවෙන් එරට මුදල් අමාත්‍ය සුනිචි සුසුකි මහතා සහ උප මුදල් අමාත්‍ය මසාටෝ කන්ඩා මහතා සහභාගී වේ.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් මෙම සාකච්ඡාවේදී ඉන්දියාව නියෝජනය කරන අතර ප්‍රංශය නියෝජනය කරන්නේ එරට භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් එමානුවෙල් මවුලින් මහතා විසින් ය.

එම රටවල නියෝජිතයන්ට අමතරව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ද මෙම විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වීමට නියමිත ය.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට නියමිත අතර වොෂිංටනයට ගොස් සිටින මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුන් ද මේ සඳහා එක්වීමට නියමිතව ඇති බව සඳහන් වේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ලබන මැයි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර ඒ අනුව එහිදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කෙරේ.

මේ අතර චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා චීන මූල්‍ය ආයතන අඛණ්ඩව සහාය ලබාදෙන බව ය.

වර්තමාන ආර්ථික අර්බුදය මගහරවා ගනිමින් ණය බර ලිහිල් කර ගැනීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත්, චීනය අදාල රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග එක්ව කටයුතු කරන බව වැන්ග් වෙන්බින් මහතා පවසයි.

වැන්ග් වෙන්බින් මහතා වාණිජ සහ බහුපාර්ශ්වික ණයහිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට දායකත්වය ලබාදෙන ලෙස ය.

ද්විපාර්ශ්වික ණයහිමියෙකු ලෙස චීනයේ අපනයන-ආනයන බැංකුව හෙවත් එක්සීම් බැංකුව මෙරට මුදල් අමාත්‍යාංශයට නිවේදනය කළේ ඔවුන් 2022 සහ 2023 වර්ෂවලදී ගෙවිය යුතු ණය ප්‍රමාණයේ දිගුවක් ලබා දෙන බවය.