ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය... IMF යළි තහවුරු කරයි

අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය... IMF යළි තහවුරු කරයි

by Staff writer 12-04-2023 | 12:40 PM

COLOMBO (News 1st) -  උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව  සහය පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසයි. 

ඇය මේ බව පවසා ඇත්තේ, ජාත්‍යන්තර මූලය අරමුදල සහ ලෝක බැංකුව එක්ව සංවිධානය කරන ස්ප්‍රිං සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග ඊයේ සාකච්ඡාවකට එක්වෙමිනි. 

හමුව පිළිබඳව සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසන්නේ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ දූත පිරිස සමග සාර්ථක සාකච්ඡාවක් සිදුකළ බවයි. 

ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා සිය වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජෝර්ජියේවා මහත්මිය සිය ට්විටර් සටහනෙන් පෙන්වා දෙයි. 

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ද ට්විටර් සටහනක් තබමින් පවසන්නේ, ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීම සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවී සිටින බවයි.

ඒම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ආර්ථික අර්බුදයෙන් මුහුණ දෙන දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය දීමට නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තමන්  මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කෘතඥතාව ද පළ කළ බවයි.