එන්ජිම ගැලවෙන්න හේතුවක් තිබුණේ නෑ -ප්‍රධාන නියාමක

දුම්රිය එන්ජිමක් මැදිරිවලින් ගැලවී යාමේ සිද්ධියට අදාළ ප්‍රධාන නියාමකගේ වාර්තාව දෙපාර්තමේන්තු ප්‍රධානින්ට..

by Staff writer 10-04-2023 | 6:58 AM

COLOMBO (News1st) –  දුම්රිය එන්ජිමක්, කළුතර ප්‍රදේශයේදී ඊයේ (10)මැදිරිවලින් ගැලවී ධාවනය වීමේ සිද්ධියට අදාළ  ප්‍රධාන නියාමකගේ වාර්තාව දෙපාර්තමේන්තුවේ ප්‍රධානින්ට ලැබී තිබේ. 

දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, එන්ජිම මැදිරිවලින් ගැලවී යෑමට හේතුවන ගැටලුවක් ඒ අවස්ථාවේදී තමන්ට නිරීක්ෂණය නොවූ බව ප්‍රධාන නියාමක සිය වාර්තාව මගින් පෙන්වා දී ඇති බවයි.

කෙසේ වෙතත් එම සිද්ධියට අදාළ ගැටලුව පිළිබඳව තමන්ට නිශ්චිත අවබෝධයක් නැතැයි ද ප්‍රධාන නියාමකවරයා සඳහන් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය. 

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය එන්ජිම ඊයේ උතුරු කළුතර ප්‍රදේශයේ දී මැදිරිවලින් ගැලවී ධාවනය වි තිබුණි.