උත්සව සමයේ වැටලීම් තවදුරටත්... වෙළඳුන් 1500කට නඩු

උත්සව සමයේ වැටලීම් තවදුරටත්.... වෙළඳුන් 1500කට නඩු

by Staff writer 10-04-2023 | 11:42 AM

COLOMBO (News 1st) – උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළඳුන් 1500 කට වැඩි පිරිසකට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.  

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වැටලීම් ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම සහ තොග සඟවා තබා ගැනීම ආදී කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙයි. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ බිත්තර පිළිබඳව වැඩි අවධායක් යොමු කරන ලෙස සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව ඉදිරි දිනවල තවදුරටත් වෙළඳපළ වැටලීම්වලට සමගාමීව බිත්තර ගොවිපළවල් ද වැටලීම් සිදු කෙරෙනු ඇති.

උත්සව සමයේ රාජකාරින් සඳහා විශේෂ කණ්ඩායම් ද  යොදවා ඇති අතර නිවාඩු දිනවල ඇතුළුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රි කාලයේ ද අධිකාරියේ නිලධාරීන් තවදුරටත් රාජකාරින් සිදුකරමින් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය. 

මේ අතර භාණ්ඩ මිල අඩු වීමේ වාසිය හෝටල් හිමියන් ද වහා ජනතාවට ලබා දිය යුතු බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පවසයි. 

ඔවුන් මේ  බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.