පාස්කු දිනය අදයි..

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය අදයි...

by Staff writer 09-04-2023 | 7:10 AM

Colombo (News 1st) - ජේසුස්  ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය අද (09) ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලබයි.

පාස්කු ඉරිදා දිනයේ විශේෂ දේව මෙහෙය ඊයේ (08) රාත්‍රියේ පැවැත්වූයේ, කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී ය.

ඒ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

අදට යෙදෙන පාස්කු මංගල්‍ය වෙනුවෙන් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ඒ සඳහා පොලීසියට අමතරව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව ද අනුයුක්ත කර ඇති බවයි.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු මංගල්‍ය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, වින්දිතයින්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇති බවයි.

එවැනි සිදුවීම් ඉදිරියට ඇති නොවන බවත්, ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බවත්, ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ජාති, ආගම්, පක්ෂ, පාට, භේදයකින් තොරව සමස්ත ලාංකිකයින්ගේ අපේක්ෂා සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බව, ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, පටු දේශපාලන අරමුණුවලින් සහ පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළක් සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බවයි.