කච්චතිව් දූපත යළි ඉන්දියාව පවරා ගත යුතුයි..

ඉන්දු - ලංකා ධීවර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට නම් කච්චතිව් දූපත යළි ඉන්දියාව පවරා ගත යුතුයි - තමිල්නාඩු මහ ඇමති

by Staff writer 09-04-2023 | 9:18 PM

COLOMBO (News 1st) - ඉන්දු-ලංකා ධීවර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාගැනීමට නම් කච්චතිව් දූපත යළි ඉන්දියාව පවරා ගත යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් අග්‍රාමාත්‍යවරයාට ලබාදී තිබෙන්නේ ඊයේ(08) චෙන්නායි නගරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැමිණි අවස්ථාවේ චෙන්නායි ගුවන් තොටුපොළේ දීය.

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවවේ අත්අඩංගුවට පත්වන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. 

තමිල්නාඩු මහාමාත්‍යවරයා ඉල්ලා තිබෙන්නේ පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මුහුදු තීරයේ තමිල්නාඩු ධීවරයන්ගේ පාරම්පරික අයිතිය ආරක්ෂා කර, ධීවරයන්ගේ ආරක්ෂාව ද තහවුරු කරන ලෙසට ය.

කච්චතිව් දූපත පිළිබඳව ඉන්දියාවට ඇති ස්‍වෛයිරී අයිතිය යළි පවරා ගැනීම තුළින් පාරම්පරික ධීවර අයිතිය තමිල්නාඩු ධීවරයන්ට ළඟා කර දිය හැකි බව තමිල්නාඩු රජය යළිත් අවධාරණය කරන බවට එම්. කේ. ස්ටාලින්  ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පවසා තිබේ.