ලංකාවේ රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනයෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනයෙන් යෝජනාවක්

by Staff writer 08-04-2023 | 7:22 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබේ.

ඒ, සී ඔෆ් ශ්‍රී ලංකා සාගර කලාපය ද ඇතුළත් සාගර කලාපයේ  ඉන්දීය නාවික හමුදාමය උපාය මාර්ගික අධීක්‍ෂණය මැඩලීමේ අරමුණින් බව ද අදාළ වාර්තාවල සඳහන් ය.

ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළේ, යෝජිත රේඩාර් පද්ධතිය ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම කලාපයේ නවදිල්ලියේ උපායමාර්ගික හැසිරීම් නිරීක්ෂණයට ලක් කරනු ඇති බවයි.

කොළඹට කිලෝමීටර් 155ක් පමණ ගිණිකොන දෙසින් පිහිටි ශ්‍රී ලංකාවේ දෙවුන්දර බොක්ක ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට යෝජිතයි.

එය මෙහෙයවනු ලබන්නේ, චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය බව විදෙස් වාර්තා පවසයි.

යෝජිත රේඩාරයට දෙවුන්දර බොක්කෙන් කිලෝමීටර 1700ක් නිරිත දෙසින් පිහිටි ඩියාගෝ ගාර්ෂියා හි පිහිටි හමුදා කඳවුරේ අමෙරිකා එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බව ද අදාළ වාර්තාවල සඳහන් වේ.

වාර්තාවට අනුව රේඩාර් පද්ධතිය, චීනය විසින් සාර්ථක ලෙස ස්ථාපිත කළහොත්, යෝජිත රේඩාර් පරාසය තුළ පවතින ඉන්දියානු හමුදා මධ්‍යස්ථානවලට එය අහිතකර ලෙස බලපාන බව ද සඳහන් ය.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත චීන අධීක්ෂණ මධ්‍යස්ථානයට එහි නැගෙනහිරින් අන්දමන් සහ නිකොබාර් දූපත් දක්වා පරාසයක ක්‍රියාත්මක විය හැකියි.