මතභේදාත්මක ගුවන් ගමනක්...

පැය 15ක් ප්‍රමාද වී ඩුබායි ගිය ගුවන් යානයක් යළි කටුනායකට හදිසියේ ගොඩ බැස්සුවේ ඇයි?

by Staff writer 08-04-2023 | 8:53 PM

COLOMBO (News 1st) - පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වීමෙන් අනතුරුව අද (08) පෙරවරුවේ යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

එලෙස ගොඩ බස්වා ඇත්තේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 225 දරන ගුවන් යානයයි.

ඊයේ (07) පස්වරු 06.25 ට යු.එල්.225 දරන ගුවන් යානය ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

එහෙත් පැය 15ක පමණ ප්‍රමාදයකින් පසුව ගුවන් යානය පිටත්ව ගියේ අද (08) උදෑසන 9.30 ටයි.

නමුත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව පැය 1 යි විනාඩි 10 කට පසුව එනම් පෙරවරු  10.40 ට යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්වා ඇති බව අප වාර්තාකරු  පැවසීය.

අප වාර්තාකරු පැවසුවේ, ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ඉදිරිපිට ඇති වීදුරුව ඉරිතැලීමකට ලක් වීම යානය යළි ගොඩ බැස්වීමට හේතුවයි.

ඒ වනවිට ගුවන් යානය ඉන්දියාව සමීපයට ගමන් කරමින් තිබුණි.

ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ වහා තවදුරටත් ඉදිරියට ගමන් නොකර ගුවන් නියමුවා, තම ගුවන් යානය ආපසු හරවා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇතැයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ය.

එම අවස්ථාව වනවිට ගුවන් යානය තුළ මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිට ඇත.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකන් එයාලයින් සභාපති අශෝක් පතිරගේ මහතාගෙන් විමසීමක් කළෙමු.

ඔහු පැවසුවේ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අදාළ යානයේ ගමන ප්‍රමාද වූ බවයි.