උත්සව සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටලු විසඳීමට පියවර

උත්සව සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටලු විසඳීමට පියවර

by Staff writer 07-04-2023 | 12:03 PM

COLOMBO (News 1st) –  උත්සව සමයේ ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. 

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ, කොළොම්තොට එක්සත් වෙළඳ සංගමය ඇතුළු පදික වෙළෙඳ සංගම් කිහිපයක නියෝජිතයින් ඊයේ හමුවූ අවස්ථාවේදීයි.

ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විය. 

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනතාවට අපහසුවක් නොවන අයුරින් පදික වෙළදුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට සාගල රත්නායක මහතා එකඟ වූ බවයි.

වෙළෙඳුන්ගේ ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවත් ඒවාට නිසි විසඳුම් ලබාදීමට කමිටුවක් පත්කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. 

පදික වෙළෙඳුන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඔවුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.