ආර්ථිකය හසුරුවන්නේ වොෂින්ටනයෙන්..

ආර්ථිකය හසුරුවන්නේ වොෂින්ටනයෙන් - අජිත් නිවාඩ් කබ්රාල්

by Staff writer 06-04-2023 | 9:36 PM

COLOMBO (News 1st) –  මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කර තිබූ පුද්ගලික පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(06) ප්‍රතික්ෂේප කළේ ය. 

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ, කබ්රාල් මහතාගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් ය.

විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ප්‍රකාශ කළේ ය. 

2006 සිට 2015 දක්වා කාල සීමාව තුළ මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවීම, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව පවසමින් අමෙරිකානු ඔත්තුකරුවෙකු වූ ඉමාඩ් සුබේරි නැමැත්තාට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් ගෙවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කීර්ති තෙන්නකෝන් මහතා මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණ. 
 
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්තකෝන් 

''මේ කාරණය සම්බන්ධයෙන් අපි මහාධිකරණයට අභියාචනා ගොනු කරන්න කටයුතු කරනවා. අපේ අවසාන අරමුණ ඉතාමත්ම පැහැදිලියි. මොනම විදියකට හෝ මොනම ආකාරයකට හෝ මේ රටෙන් පැහැරනෙ ගිය අති විශාල ධනස්කන්ධය, විදේශ සල්ලි මේ රට බංකොළොත් කරන්නවන්ට සිදුවුණ හේතු කාරණාවලට අදාල සල්ලි නැවත ලංකාවට ගෙන්නන්න අවශ්‍ය සියලුම නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නට අපි කටයුතු කරනවා'' 

අධිකරණයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසූ කරුණුවලට ඔහු පිළිතුරු දුන් අයුරු .. 

මාධ්‍යවේදී ප්‍රශ්නය - ඔබතුමා බොහොම සතුටින් වගේ ?

 හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා 

 ඔබතුමන්ලා දැකලා තියෙනවද මම සතුටින් නැති වෙලාවක්.අපි මොනවා වුණත් සතුටින් ඉන්න ඕනේ.--

මාධ්‍යවේදී ප්‍රශ්නය - 

IMF එකෙන් මුදල් ලැබිලා තියෙනවා.මේ කොන්දේසි ටික කොහොමද සපුරන්නේ ?

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා 

හරි අමාරු වෙනවා මන් හිතන්නේ  මම ඒ පිටු 151ම කියෙව්වා.ඒකෙන් පේනවා ඉතාමත්ම අමාරු කොන්දේසි තියෙන්නේ.ඒ කොන්දේසි මට හිතෙන්නේ නැහැ ලේසියෙන් සපුරාගන්නට පුලුවන් වෙයි කියලා.අනිත් එක වෙනස් කරන්නත් බැරි තතත්ත්වයක් උදාවෙලා තියෙනවා.ඔබතුමන්ලා ඇත්තටම අපිත් එක්ක කතා කරලා වැඩක් නැහැ.අපේ රටේ නායකයා එක්ක කතාකරලා වැඩකුත් නැහැ.ඔබතුමන්ලා කතා කරන්න වොෂින්ටන් ගිහිල්ලා මේ ප්‍රෙස් එක තියන්න වොෂින්ටන් ගිහිල්ලා.මොකද ඒ අය තමයි රට පාලනය කරන්නේ ආර්ථිකය පාලනය කරන්නේ. 

මාධ්‍යවේදී ප්‍රශ්නය - 

ආණ්ඩුවකුයි මහ බැංකු අධිපතිවරයෙකුයි ඕනද අමාරු වෙනවා කියලා ජනතාවට කියන්න. 
 

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා 

ඔබතුමන්ලට මතකයි මම අවුරු 9ක් මේ රාජකාරිවල යෙදිලා හිටියා. එක දවසක මම ඇවිල්ලා කම්ප්ලේන් කරලා තියෙනවාද අඩලා තියෙනවද? අමාරුයි මේවයි කියල.අපි යුද්ධයක් කෙරුවා. ලෝකය අවපාතයකට ගියා.තෙල් මිල ඩොලර් 140ට වැඩි වුණා.අපි එක දවසක් වත් ඇවිල්ලා කෙදිරි ගෑවේ නැහැ. වැඩේ කරුවා අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ රටක නායකයන්ගෙන් රටක මහ බැංකු අධිපතිවරයාගෙන් අවශ්‍ය වන්නේ ඒකයි.


මාධ්‍යවේදී ප්‍රශ්නය - 

තාම පොදුජන පෙරමුණේද ?

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා 

මම දැන් ස්වාධීන පුද්ගලයෙක්. මට අවශ්‍යයි මේ රටට පැහැදිළි කරලා දෙන එක‍. ඉතින් සමහරක් වෙලාවට පක්ෂතුළින් ඒවා කෙරෙන්නේ නැහැ. ඒ වුණාට අපිට පුළුවන් කරන්න ඒක අපි කරන්න ඔනෑ ඒක අපේ යුතුකම.