'බලයේ ඉන්න වුන්ට වඩා ජනතා බලය බලවත් '

'බලයේ ඉන්න වුන්ට වඩා ජනතා බලය බලවත් ' මව්බිමට ආදරය කරන මහජනතාවගේ අවධානයට..

by Staff writer 02-04-2023 | 9:01 PM

COLOMBO (News 1st) – අපේ රටේ පසුගිය කාලය තුළ සිදුවුණු දැවැන්ත දූෂණ හා වංචා සිදුවීම් ගණනාවක් තියෙනවා.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය ඒ අතරින් ප්‍රධානයි. 

ඒ තුළින් රටට සිදු වූ  පාඩුව මෙතෙකැයි කිව නොහැක.

ගණනය කර අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට බලධාරීන් හැමදාම උත්සාහ කළේ යට ගැසීමටයි.

සීනි බදු වංචාව..

රටට අහිමි වුණ බදු මුදල රුපියල් බිලියන 16 ක්. 

පොල් තෙල් වංචාව සහ සුදුළූණු වංචාවෙනුත් රටට දැවැන්ත මුදලක් අහිමිවුණා. 

රටටම බලපාන සෞඛ්‍ය දත්ත පද්ධතිය මකා දැමීමේ සිදුවීම මතකද?.

පොහොර තීරණයත් සමග සමග ඇතිවුණු පොහොර අර්බුදයෙන් සිදුවුණු වංචා ගණනාවක්.

අසූචි නැවකට ගෙවූ  ඩොලර් මිලියන 06 වෙනුවෙන් අදටත් රටට සතයක හෝ ප්‍රතිලාභයක් අත් වී නැහැ. 

මේ හැම වංචාවකටම ජනතාව හැම විටම විරුද්ධ වුණා.

ඒ විරෝධතාව වෙනුවෙන් ජනතාව සමග හිටගත්තේ, ජනතාව දැනුවත් කළේ මාධ්‍ය. 

ඒ හඬ රටේ ප්‍රධාන මාධ්‍ය වාර්තා කළා.

මේ වංචා මාධ්‍යයෙන් හෙළිවුණා

සමාජ මාධ්‍ය හරහා ජනතාව තමන්ගේ විරෝධතාව පළ කළා.

වංචාවේ සැකමුසු තැන් සියල්ල සාක්ෂි  සහිතව හෙළිදරව් කළේ, මාධ්‍ය. 

ඒ හැම වෙලාවෙම පැවතුණු රජයන් කළේ, මේ වංචාවල් යට ගහන්නත් වංචනිකයන් ආරක්ෂා කරන්නත් කටයුතු කිරීම මිස ජනතාව වෙනුවෙන් හිටගැනීම නෙවෙයි. 

අනාගතයේදීත් මේ රටේ හෝ වංචා දූෂණ හෙළි කිරීම ඒ වගේම ඒවාට විරුද්ධ වෙලා මහජන මුදල් නාස්ති වීම වළක්වන්න පුළුවන් මාධ්‍යයට සහ ජනතාව අත්වැල් බැඳගත්තොත් විතරයි. 

නමුත් අලුතින් ඉදිරිපත් කර ඇති අණපනත් සම්මත වුණොත් ඒක කරන්න පුළුවන් වෙයිද ?

කොහොමද මේ නීති අපිට බලපාන්නේ?

ආණ්ඩු සහ ආණ්ඩුවල අනුදැනුම ඇතිව පත්කරපු බලධාරීන් සිදුකරන වංචා දූෂණ හෙළිදරව් කරන ඒ වගේම සමාජ මාධ්‍ය මගින් මේවා ගැන පෝස්ට් share කරන  Like කරන Comment කරන ඔබේ දරුවා, ඔබේ සහෝදරයා, වගේම ඔබත් වැරදිකරුවෙක් බවට පත් කරන්න මේ නීති වලට පුළුවන්.  

කොහොමද මේක රටට බලපාන්නේ? 

අද අපේ රට මේ වැටිලා ඉන්න අනතුරුදායක, ලැජ්ජා සහගත තත්ත්වයට වගකිව යුත්තේ බලය තිබුණු පිරිස් සිදුකළ දූෂණ හා වංචා නිසා.

මේ අර්බුදය ආර්ථික අපරාධයක ප්‍රතිඵලයක් බව කිව්වේ එක්සත් ජාතීන්. 

ඉතින් මේ නීති සම්මත වුණොත්, ඉදිරියේදිත් මෙවැනි වංචා හා දූෂණ වාර්තා කරන්න හෙළිදරව් කරන්න ඒවා වළක්වා ගන්න කටයුතු කරන්න ජනතාවට තියෙන අයිතිය නැතිවෙනවා.

මේවා මෙහෙම හෙළිදරව් කරද්දීත් මේ තරම් මහා පරිමාණ වංචා දූෂණ සිදුකරනවානම් වංචා හෙළිදරව් කරන්න තියෙන ඉඩකඩ ඇහිරුණු දාට අපේ රටට මොකක් වෙයිද?

මේ රට ඔබේත් මගෙත් මගේත් අපේත් රටයි. 

දූෂිතයින් අතළොස්සකගේ ග්‍රහණයට මේ රට අසුවෙන නීතිරීති සම්පාදනය කරලා මුළු රටේම රටට ආදරය කරන කරන මිනිසුන්ගේ කඩවල් වහලා රට තවදුරටත් අනතුරකට වැටෙන තැනකට අපි පත් කරගන්නවා ද? 

අපේ රටේ ස්වෛරීත්වය අපේ රටේ වටිනා ආර්ථීක මර්මස්ථානවල පාලනය වෙනත් රටවල්වලට නතු කරන්න මේ රටේ ජනතාව ඉතිහාසයේ සූදානම් වෙලා හිටියේ නැහැ... 

රටේ ජනතාවගේ නැගිටීම මතින් බලයට ආ දේපාලනඥයින් මතක තබාගත යුතුයි ' බලයේ ඉන්න වුන්ට වඩා ජනතා බලය බලවත් බව...'

"The power of the people is greater than the people in power"

මගේ මව්බිමට ආදරය කරන මහජනතාවගේ අවධානය පිණිසයි...