බදුල්ලේ අනතුර විමර්ශනයට කමිටුවක්

බදුල්ලේ කැබ් රථ අනතුර ගැන විමර්ශනයට පළාත් අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් මත ත්‍රිපුද්ගල කමිටුවක්

by Staff writer 02-04-2023 | 4:19 PM

COLOMBO (News 1st) – බදුල්ලේ රථ පෙළපාලියක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුවට , පළාත් අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙක් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් ය.

ඌව පළාත් අධ්‍යාපන ලේකම්, නන්දසේන හේරත් මහතා ප්‍රකාශ කළේ, අනතුර සිදු වූ බදුල්ල නව ක්‍රීඩාංගණයේ ස්ථානීය පරීක්ෂණය බදුල්ල මහේස්ත්‍රාත් නොජිත් ද සිල්වා මහතා විසින් අද (02) පෙරවරුවේ සිදු කළ  බවයි.

මීට අමතරව පළාතේ සෙසු පාසල්වල වාර්ෂික ක්‍රිකට් තරගවලට බාහිරව සංවිධානය වන මෙවැනි වැඩසටහන් නැවැත්වීමට ආරක්ෂක අංශ සහය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

ඊයේ (02)  දින බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධානය කළ රථ පෙළපාලියක් අතරතුර කැබ් රථයක් පෙරළීයාමෙන් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය ගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලැබීය.

සිද්ධියෙන් ජිවිතක්ෂයට පත් වූයේ , බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්. එම්. රවිදු සහ හරේන්ද්‍ර රුක්මාල් යන සිසුන් දෙදෙනායි.

ඔවුන් හැලි ඇල සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.