ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව ඔබ දැනුවත් ද?

ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව ඔබ දැනුවත් ද?

by Staff writer 02-04-2023 | 7:25 PM

COLOMBO (News 1st) – දැනට ගැසට් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දූෂිතයින් ආරක්ෂා කරන පලිහක් බව පාර්ශ්ව රැසක් පෙන්වා දෙනවා.

පූජ්‍ය පක්ෂය, සිවිල් සංවිධාන මෙන්ම නීතීඥ ප්‍රජාව ද පෙන්වා දෙන්නේ, මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත්, රටේ සියලු පුරවැසියන් වහලුන් බවට පත්වන බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, මාධ්‍ය හා ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය මගින් සාමාන්‍ය ජනතාව කරන පළ කිරීම් මෙමගින් දැඩි පාලනයකට ලක්වනු ඇති බවයි.

පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ බරපතළ තත්ත්වය පිළිබඳව මෙසේ අදහස් පළ කළහ.

ලංකා ජනතා පක්ෂයේ නායක,පූජ්‍ය අක්මීමන දයාරතන හිමි - 

'' ජනාධිපතිතුමා අලුතෙන් නීතියක් හදාගෙන එනවා මොකක්ද? ත්‍රස්ත විරෝධී පනත.දැන් ඒකෙන් මොකක්ද වෙන්නේ? මින් පසු දේශපාලඥයින්ට ගරහන්න බෑ.හොරා කියලා කිව්වොත් ගිහිල්ලා දානවා හිරේ.දැනටත් හොරු ඉන්නවනේ මහා පරිමාණ හොරු ටික එකට එකතුවෙලා ඉන්නෙ ඔය.දැනටත් අපිට හොරා කියලා කියන්න පුළුවන්නේ.මහින්ද රාජපක්ෂට , බැසිල්ට හොරා කියන්න පුළුවන්නේ තවම.ඉදිරිකාලය තුළදී හොරා කිව්වොත් ඇදගෙන ගිහිල්ලා දැම්මා.මාධ්‍යවේදියා අපි කියන එක රෙකෝඩ් කර ගත්තොත් එයාටත් යන්න බෑ ඇදගෙන ගිහිල්ලා දානවා හිරේ.ඒ වගේ පනතක් මේ ත්‍රස්ත විරෝධී පනත කියන්නේ ඉතාම භයානක ඉතාම දරුණු ගණයේ පනතක්.ඒ විතරක් නෙමෙයි දේශපාලනඥයින්ගේ ආරක්ෂාව තර කර ගැනීමේ පනතක් විදියට තමයි දකින්නේ.ඒ කියන්නේ බුලට් ෆූරූප් එකක් දාගන්නවා වගේ වැඩක් මේ ත්‍රස්ත විරෝධී පනත කියලා කියන්නේ..''

මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අද (02) මාධ්‍ය හමුවක් කැඳවමින් යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ බලපෑම පිළීබඳව අදහස් පළ කළහ.


ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ, නීතිඥ, ජානක අධිකාරී මහතා - 

'' කලින් අපි දන්නවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ ඒවා ඇතුළේ තිබුණේ මේ රටේ ඩී.ඕ. ඩිටෙන්ෂන් ඕඩර්, රඳවා ගැනීමේ නියෝග නිකුත් කරන්න ඒ බලතල දීලා තිබුණේ ආරක්ෂක ඇමතිට විතරයි. දැන් මේ පනත යටතේ හදලා තියනවා ඩී.අයි.ජීට පුළුවන් ඩිටෙන්ෂන් ඕඩර් ගහන්න. ඩී.අයි.ජී ගහපු ඩිටෙන්ෂන් ඕඩර් එකට ඕකේ කියන්න විතරයි මහේස්ත්‍රත්තුමාට තියන්නේ කිසිදු ආකාරයෙන් එක සම්බන්ධයෙන් අධිකරණමය විමර්ශනයක් කිරීමේ අයිතියක් මහේස්ත්‍රාත්තුමාට නැහැ. අතිශය භයානකයි. මේ පනත යටතේ කෙනෙක්ට අත්පුඩියක් ගහලා කතා කළොත් ඒ කතා කරපු එක පොලීසියට හිතුණොත් එහෙම ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා එයාව ගෙනිහිල්ලා මේ පනත යටතේ ත්‍රස්තවාදියෙක් කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. මරණාධාර සමිතිය ත්‍රස්තවාදි සමීතියක් බවට පරිවර්ථනය කරන්න මේකේ පුළුල් අර්ථ නිරූපන බලයක් දිලා තියනවා. මේ පනත දිහා බැලුවාම මේ රටේ තියන්නේ ත්‍රස්තවාදය විතරයි. මේ රටේ මානව හිමිකම් නැහැ. මෙතනින් එහාට මේ වගේ පනතක් ගෙනාවොත් මාධ්‍ය කියලා එකක් නැහැ ආයේ. මාධ්‍ය වැඩක් නැහැ, වෘත්තීය සමිති වැඩක් නැහැ, ගොවියෝ වැඩක් නැහැ, ශිෂ්‍ය ව්‍යාපාර වැඩක් නැහැ, මූලික අයිතිවාසිකම් කියලා එකක් නැහැ. කිසිම දෙයක් නැති මේ රට මස් මඩුවවක් වගේ එකක් බවට පත්වෙනවා. ත්‍රස්තවිරෝධී පනත ගෙනාවොත් ඒක යටතේ මේ රටේ ඉතුරු වෙන්නේ යමක් අත පය දිගෑරලා කරන්න පුළුවන්කම හම්බවෙන්නේ පොලීසියටයි ජනාධිපතිටයි විතරයි..''

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ, නීතිඥ හර්ෂ නානායක්කාර මහතා - 

වෘත්තිය සමිතියක් තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා පාරට එනකොට ඒක අත්‍යාවශ්‍ය සේවයක් කියලා ජනාධිපති ගැසට් එක ගැහුවාට පස්සේ ඔවුන්ව අත්අඩංගුවට අරගෙන අවුරුදු 20ක් දක්වා හිරේ දාන්න පුළුවන් තත්ත්වයක් මේවායේ තියනවා. රජයට පුළුවන් ඒගොල්ලා අකමැති ඕනෑම දෙයක් අර්ථකථනය කරන්න මේක ත්‍රස්ත ක්‍රියාවකට ආධාර අනුබල දීමක් කියලා. උදාහරණයක් විදිහට අපි කියමු දවල් 12ට ඔරලෝසු කණුව ළඟට එන්න මොනවා හරි විරෝධතාවයකට සාමකාමී ප්‍රජාන්ත්‍රවාදී විරෝධතාවයකට. ඒ ෆේස්බුක් පෝස්ට් එක දාන කෙනා ත්‍රස්ත ප්‍රකාශනයක් කරන්නේ. ඒ ෆේස්බුක් පෝස්ට් එක බලලා එන පුද්ගලයා ඔහු නීතිවිරෝධී ජන රාශියක සාමාජිකයෙක් බවට පත්වෙනවා. ඒ කියන්නේ කිසිදු උද්ඝෝෂණයකට සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව මිනිහෙකුට පාරට බහින්න බැහැ... මේක ඇවිල්ලා අන්තිම මර්දනකාරී පනතක්. මේ පනත සම්මත වුණොත්, රටේ මිලියන 22ම හිර ගෙදරක හිටියා නම් ඔයිට වඩා සනීපයි කියන තත්ත්වයක් නිර්මාණය වෙන බව කිව යුතුමයි. මේකේ වැදගත්ම දේ තමයි ජනාධිපතිවරයාට බලයක් පවරනවා ඕනෑම සංවිධානයත් තහනම් සංවිධානයක් බවට පත් කරන්න...'' 

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති,වසන්ත සමරසිංහ මහතා ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව අදහස් පළ කළේ ය.

''වෘත්තීය සමිති මර්ධනය කරන්න හදනවා. ඇයි ඒ ගොල්ලන්ගේ හෙළුව හෙළිදරව් වෙනවා.විකිණීමට එරෙහි සටනක් එනවා.. ඒක එනකොට අන්න රනිල් මොකද? කරන්නේ ගේනවා ප්‍රතිත්‍රස්ත පනත.මොකක්ද? කියන්නේ වෘත්තීය සමිතිත් ත්‍රස්තවාදීන් ලෙස නම් කරන්න පුළුවන් රනිල්ට.ඒ පවර් එක දෙනවා රනිල්ට.වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග කියලා කියන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි ෆේස්බුක් එකේ නිකන් එහාට මෙහාට එන ඒවා ශෙයාකරන්න හදන්න එපා.. මීට පස්සේ ඒ ශෙයාර් කරන එකත් ත්‍රස්තවාදී ක්‍රියාවක්.වොයිස් කට් එකක් දාන එකත් ත්‍රස්තවාදී ක්‍රියාවක්.ෆොටෝ එකක් දාන එකත් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථකතනය කරන්න පුළුවන්.ළඟම පොලීසියේ ASPට කියලා රඳවා තියන්නත් පුළුවන්.ඕන් ගේන ප්‍රතිත්‍රස්ත පනත වෘත්තීය සමිති තහනම් කරන්නත් පුළුවන්.වෘත්තීය සමිතිවලට කලාප ප්‍රදේශ තහනම් කරන්න පුළුවන්.යන්න එන්න එපා කියන්න පුළුවන්.ඒ කියන්නේ 2022 අරගලය ඇතුළේ සිදු වෙච්ච සිදුවීම් වලට පළිගැනීම සඳහා ප්‍රතිත්‍රස්ත පනත කියලා එකක් ගේනවා.ඒක ගේන්නේ වෙන මොනවත් නිසා නෙමෙයි ආණ්ඩුවට එරෙහිව නැග එන ජනතා විරෝධය ජනතා මතය ආපහු වතාවක් පොඩි පට්ටම් කරලා දාලා නීතිය ඇතුළේ ඒක හිරකරගන්න බලාගෙන තමයි ප්‍රති ත්‍රස්ත පනත ගේන්නේ...''

සමගි තරුණ නීතිඥ බලවේගයත් අද (02)  මාධ්‍ය හමුවක් කැඳවමින් යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ භයානකකම ගැන අදහස් පළ කළේ ය.

 

සමගි තරුණ නීතිඥ බලවේගයේ සභාපති,නීතිඥ තාරක නානායක්කාර මහතා -

''මේ පනත් පාවිච්චි වෙන්නේ සමාජ ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් සාහිත්‍යකරුවන් රජයට විරුද්ධව අදහස් දක්වන්නාවූ ඕනෑම කෙනෙක් අනීතික ලෙස අයුතු ලෙස රජයේ පාලනයට යටත් කිරීම. එතකොට මේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යටතෙත් මාධ්‍ය හා ජන මාධ්‍ය පාලනයට අවශ්‍ය වන්නේ ඒ අයට බොහොම සුළු දෙයක්. ඕනෑම ප්‍රකාශනයක් අරගෙන මේක ත්‍රස්තවාදී ප්‍රකාශනයක් කියලා මේ ත්‍රස්තවාදී ප්‍රකාශනයට උල්පන්දම් දීමක් මේ මාධ්‍යයෙන් හෝ සමාජ මාධ්‍යයෙන් කරලා තියනවා කියලා එයට සම්බන්ධ සියලුම පුද්ගලයින් සමාජ මාධ්‍ය තුළ ඒ සම්බන්ධව ධනාත්මකව ප්‍රතිචාර දක්වපු පුද්ගලයින් පවා රැදවුම්භාරයට පත් කිරීමේ ප්‍රතිපාදන මේ කෙටුම්පතේ තියනවා. අන්න ඒ නිසයි අපි කියන්නේ මේක ඩ්‍රැකෝනියන් ලෝ එකක් එහෙම නැත්නම් කුරිරු නීතියක් කියලා..''


 සමගි තරුණ නීතිඥ බලවේගයේ ප්‍රධාන ලේකම්, නීතිඥ තිවංක ආටිගල -

'' දැන් ත්‍රිවිධ හමුදාවටම ඕන ස්ථානයකට ගිහිල්ලා ඕන ඉඩමකට ගිහිල්ලා කිසිදු වරෙන්තුවක් නැතුව සොයා බැලීමේ සෝදිසි කිරීමේ වරෙන්තුවක් නැතුව කිසිම දෙයක් නැතුව දැන් අත්අඩංගුවට අරන් තියාගන්න පුළුවන්. එතකොට ත්‍රිවිධ හමුදාවට පුළුවන් පැය 24ක් තියාගන්න. ඉස්සර වගේ ගත්ත ගමන් අරගෙන පොලිසියට දෙන්න ඕනි කමක් නැහැ. ත්‍රිවිධ හමුදාව පැය 24ක් තියාගන්නවා. පොලිසියට පුළුවන් තව පැය 24ක් තියාගන්න. ඒ තියාගෙන තමයි ඔන්න මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන්නේ. ඉස්සරනම් අත්අඩංගුවට ගත්තාම හෝ රැදවුම් නියෝග යටතේ ඔහුව රදවා ගන්නකොට පැය 48ක් ඇතුළේ මානව හිමිකම් කොමිසමට දැනුම් දීමක් කරන්න ඕනි. දැන් ඒක නැහැ. පැය 72ක් ගියාට පස්සේ තමයි මානව හිමිකම් කොමිසමට දැනුම් දෙන්නේ. එතකොට වෙන්න ඕනි දේවල් වෙලා ඉවරයි.සතියත් විතර ගියාට පස්සේ තමයි දන්නේ කොහෙද ඉන්නේ මොනාද කරන්නේ කියලා. අඩුම ගානේ පොලිසියක ඉන්නකොට අපිට පොලිසියට ඇමතුමක් දීලා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න පුළුවන්. හමුදාවෙන් අරන් ගියාම මොන මූලස්ථානයේද මොන කෑම්ප් එකේද කිසි දෙයක් දන්නේ නැහැ. තොරතුරක් දන්නේ නැහැ. හමුදාවේ කවුද වග කියන නිලධාරියා කවුද අත්අඩංගුවට ගත්ත නිලධාරියා එහෙම එකක් නැහැ. මේකේ නිලධාරිවරයෙක් නෙමෙයි හමුදාවේ ඕනි පුද්ගලයෙකුට අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා තමයි පනත හදලා තියන්නේ. එතනින්ම පේනවා තනිකරම ත්‍රස්තවාදය නැති කරන්න නෙමෙයි ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න නෙමෙයි වචනයක් හරි කිව්වොත් ෆේස්බුක් එකේ හිනාවක් හරි දැම්මොත් ලයික් එකක් හරි දැම්මොත් ඕනෑම කෙනෙක්ට ඇවිල්ලා අරගෙන ඇවිල්ලා තියාගන්න පුළුවන් කොහෙද කියලාවත් අපි දන්නේ නැහැ''