එළවළු මිල පහළ ගියේ ඇයි?

එළවළු මිල පහළ ගියේ ඇයි?

by Staff writer 02-04-2023 | 8:46 PM

 

COLOMBO (News 1st) – උත්සව සමය ආරම්භ වීමත් සමග  මෙවර එළවළු මිල ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.

ඒ ඇයි ..? අපි විමසා බැලුවා..

ගොවි බිම්වල  තත්ත්වය මොකක්ද?

 
උඩරට එළවළු ගොවීන් මෙවර වගාව ආරම්භ කළේ, පොහොර, ඉන්ධන ඇතුළු ගැටළු රැසක් සමගිනි.

නමුත් එළවළුවලට නිසි මිලක් ලැබේ යැයි ඔවුන් බලාපොරොත්තුවෙන් පසු වූහ.

මේ වන විට ගොවීන් කබලෙන් ලිපට වැටී ඇත්තේ, එළවළු සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙනි.

මේ වැලිමඩ ගොවිබිම්වල තත්ත්වය..

එළවළු මිල සම්බන්ධයෙන් ගොවීන් මෙසේ අදහස් පළ කළහ.

'' බෝංචි 01Kg රු 70යි 80යි. අල  01Kg රුපියල් 100යි 120යි. ගෝවා ගන්නෙම නෑ. ගෝවා වතුවල කුණු වෙනවා. කැප්පෙටිපොළ  ගිහිල්ලා එතන රෑ වෙනකම් ඉඳලා එනවා. අර එළවළු තියලා. දාලා එන්නේ විකුණගන්න බැරිව''

''ඉතිං අපි හරි අසරණයි.. අඩුම ගාණේ ගෙදරට තුනපහ ගන්නවත් අපිට සත පහක් නෑ''

නුවරඑළිය, කුඩාඔය එළවළු ගොවීන් මුහුණ පා ඇති තත්ත්වයත් ඊට දෙවැනි නැහැ....

නුවරඑළිය, කුඩාඔය එළවළු ගොවීන් - 

'' දැන් අපි බීජ ඇට ගන්නේ ,පොහොර ගන්නේ හැමදේම ගිනි ගණන්වලට. අපි අරගෙන වගා කරාට දැන් අපේ එළවළු ඔක්කොම තුට්ටු දෙකට බැහැලා තියෙන්නේ..''

'' හැම එළවළුවක්ම බැහැලානේ අප්පා තියෙන්නේ... දෙයියෝ කොහොමද? අපි ජීවත් වෙන්නේ.."

'' හැමදාම මේකෙන් හිර වෙන්නේ ගොවියත් පාරිභෝගිකයාත් විතරයි. අතරමැදියාගේ මිල ස්ථාවරයි ඒ නිසා අතරමැදියා ගොඩ...''

අනුරාධපුර ගොවිපොළ හන්දිය ගොවීන් පෙන්වා දෙන්නේ, සිය වගාව සඳහා වැය වූ මුදලවත් පියවා ගැනීමට නොහැකි වනු ඇති බවයි.

 ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් වල තත්ත්වය මොකක්ද?


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දෛනික මිල දර්ශනයට අනුව එළවළු තොග මිල ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබුණි.

බෝංචි සහ කැරට් රුපියල් 80 - 130 ත් අතර මිලකට අලෙවි වූ අතර බණ්ඩක්කා අලෙවි වූයේ රුපියල් 50 - 70 ත් මිලකටයි.

වට්ටක්කා රු. 30 - 40 ත්,වම්බටු රු 80 - 130 ත්,මාළු මිරිස් රුපියල් 250 ක් වැනි මිලකටත් අලෙවි විය.

කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේත් අද (02) එළවළු මිල ගණන් ඉතා පහළ මට්ටමක පැවතියේ ය.

මෙහිදී ද ගොවීන් පළ කළේ මෙවන් අදහස් ය.


''බෙහෙත් පොහොර මිල ගත්තාම ට්‍රාන්පෝර්ට් එකයි හැමදේම ගත්තාම කිසිම ලාබයක් නෑ ගොවියට.. ආයේ කන්න ගොවිතැන් කරන්නවත් මේ කරපු දෙයින් ආදායමක් ගන්නවත් ක්‍රමවේදයක් නැතුව අසරණ තත්ත්වයක ඉන්නේ ගොවියා..''

මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිල දී ගැනීමට පැමිණෙන වෙළඳුන්ගේ අඩුවක් මේ දින කිහිපයේම දක්නට ලැබුණි.

කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ, සභාපති, ඩී. එන්. සිල්වා මහතා -

''විකිණීම නම් අඩුයි. හේතුව තමයි වෙලා තියෙන්නේ පාරිභෝගික ජනතාව එළවළු මිලදී ගන්නේ නෑ.. ආර්ථික ප්‍රශ්න තමයි... ජනතාව අතර සල්ලි ගැවසෙන්නේ නෑ...''

කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ  ලේකම්,පී.බී.දිසානායක මහතා - 

''ගෙනියන මිනිස්සු කියන්නේ එළවළු විකිණෙන්නේ නෑ කියලා. ගෙනියන මිනිස්සුන්ට එළවළු විකිණුණොත් තමයි ආයේ එන්නේ බඩු ගන්න...''

 සිල්ලර වෙළඳපොළේ තත්ත්වය මොකක්ද?

එළවළු මිල පහළ ගියත් පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල අඩුවක් ඇතැයි වෙළෙඳසැල් හිමියන් පෙන්වා දෙයි.

 මහනුවර ප්‍රදේශයේ සිල්ලර වෙළඳ මහතුන් ප්‍රකාශ කළේ,

''බිස්නස් නැතුව තමයි වේලී වේලි ඉන්නේ...''

''ගොඩක් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මිනිස්සු අතේ සල්ලි නැති ප්‍රශ්නය''

''සෑම දෙයක්ම ගණන් අඩුයි.. මිනිස්සු එන්නේ නැති එක තමයි තියෙන්නේ..''

මාතර ප්‍රදේශයේ සිල්ලර වෙළඳ මහතුන් ප්‍රකාශ කළේ ද, මෙවන් අදහස්

මිල අඩු වුණාට වැඩක් නෑ. මිනිස්සුන්ට සල්ලි නෑ මේ දවස්වල. එදා වේල ලයිට් බිල, වතුර බිල ගෙවාගන්න ගියාම සල්ලියක් නෑ ඇත්තට ඉතිරියක්..''

පාරිභෝගිකයින් ද අදහස් දක්වමින් කියි සිටියේ,

''ගන්න විදිහක් නෑ අපිට.. හම්බෙන පඩියෙන් එළවළුවක් අරගෙන කාලා බීලා ජීවත් වෙන්න අමාරුයි..''

මේ අතර වැලිමඩ, ඌවපරණගම ප්‍රදේශයේ මහකන්නය සඳහා අල වගා කළ ගොවින් ද දැඩි අසීතාවට පත් වී සිටිති.

ගොවීන් පවසන්නේ ආනයනික අර්තාපල් වෙළඳපොළේ අඩු මුදලට විකිණීම නිසා දේශීය අර්තාපල්වලට නිසි මිලක් නොමැති බවයි. 

මහන්සියෙන් වගා කළ අස්වැන්න දැන් නිවෙස්වල ගොඩගැහිලා කුණු වෙමින් පවතින අතර ගොවින් ඒ පිළිබඳව පළ කළේ මෙවන් අදහස් ය. 
 

''දැන් මේ අල විකුණ ගන්න  විදිහක් නෑ අපිට. විකුණලා තමයි ලමයින්ට පොත් පත් ටිකක් අවුරුද්දට ඇදුම් ටිකක් ගන්න හිටියේ. දැන් අල ටික විකුණ ගන්න විදිහක් නෑ අපිට. රට අල ගෙන්නලා වෙළඳපොළේ විකුණනවා 150යි 130යි. අපේ අල 160ට වත් ගන්නේ නෑ'' 

මේ අතර ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ දකුණ ඉවුර යාය ප්‍රදේශයේ වී වගා කළ  ගොවීන් අස්වනු නෙලීමට රජය පොරොන්දු වු ඉන්ධන සහනාධාරය ලබා නොදීම නිසා දැඩි පීඩාවකට පත්ව සිටිති.