සනත් නන්දසිරිගේ අවසන් කටයුතු අද රාජ්‍ය ගෞරව සහිතව

සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

by Staff writer 01-04-2023 | 7:05 AM

COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත, සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) පස්වරු 3.00 ට බොරැල්ල සුසාන භූමියෙදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතවේ.

මේ වනවිට දේහය ඇඹුල්දෙනියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.

අද පෙරවරු 9.00 න් පසුව සනත් නන්දසිරි මහතාගේ දේහය කොළඹ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට නියමිතයි.

අනතුරුව දේහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කරනු ඇති.

කලක් රෝගාතුරව සිටි සනත් නන්දසිරි මහතා පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වුණේ සිය නිවසේදීය.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.

සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වැනි කුලපතිවරයා ලෙස කටයුතු කළේ ය.

ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රයට ඔහු කළ විශිෂ්ට දායකත්වයට උපහාරයක් වශයෙන් ගෞරව මහාචාර්ය පදවියකින් ඔහු පිදුම් ලැබීය.