ත්‍රස්ත විරෝධීපනත් කෙටුම්පතට ජාත්‍යන්තරයේ කනස්සල්ල

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම රජයට දැනුම් දෙයි

by Staff writer 01-04-2023 | 9:22 PM

COLOMBO (News 1st) - යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම හෙවත් I.C.J ආයතනය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම කියා සිටියේ, යෝජිත කෙටුම්පතෙහි  4(1)(අ) වගන්තිය මගින්, ත්‍රස්තවාදය සඳහා මරණීය දණ්ඩනය නියමවීම පිළිබඳව ඇති කරුණු සම්බන්ධයෙන් අතිශයින් සැලකිලිමත් වන බවයි.

ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමෙහි ජ්‍යෙෂ්ඨ නීති උපදේශක, ලිවියෝ සිලී (Livio Zilli) සිය ප්‍රකාශනයෙන් දක්වා ඇත්තේ 'ත්‍රස්තවාදී' ක්‍රියාවන් සම්බන්ධයෙන් හෝ ‍වෙනත් හේතුවක් මත ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන, මරණ දඬුවම සඳහා සාධාරණීකරණය කිරීමක් ලෙස භාවිත නොකළ යුතු බවයි.

නව පනත් කෙටුම්පතෙහි යම් වැඩිදියුණු කිරීම් ඇතුළත් බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

නමුත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම පවසන්නේ, පැහැදිලිවම පනත් කෙටුම්පතේ  ධනාත්මක කරුණුවලට සාපේක්ෂව අනෙකුත් ගැටළුකාරී කොටස් වැඩියෙන් ඇති බවයි.

මීට අමතරව,සාමකාමී විරෝධතා 'ත්‍රස්තවාදී ක්‍රියා' ලෙස ඒත්තු ගැන්වීම පිණිස භාවිතාකර ඇති අදාළ පනත්, කෙටුම්පතේ 3 වැනි වගන්තියේ ඇති පුළුල් හා නොපැහැදිලි අර්ථ දැක්වීම පිළිබඳව ද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම කනස්සල්ල පළකර ඇත.

ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම හි ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ලිවියෝ සිලී , කෙටුපතෙහි වගන්ති උපුටා දක්වමින් පවසන්නේ, අදාළ පනත මගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීතිමය බැඳීම් සහ රටේ ව්‍යවස්ථාපිත කරුණුද උල්ලංඝනය වන බවයි.