හියුමන් රයිට්ස් වොච් අනතුරු අඟවයි.

IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක් ගැන හියුමන් රයිට්ස් වොච් අනතුරු අඟවයි.

by Staff writer 30-03-2023 | 6:25 PM

 

COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මත ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක් මතුව ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂ,මීනාක්ෂි ගංගුලි මහත්මිය පෙන්වා දෙන්නේ,ආදායම් ඉහළ නැංවීමේ ප්‍රතිපත්ති මගින් තවදුරටත් ආර්ථික හා සමාජ අයිතීන් ඛාදනය නොවන බවටත් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ මගින් වගවීම ලබා දෙන බවටත් ශ්‍රී ලංකා රජය සහතික විය යුතු බවයි.

ධනවත් කිහිප දෙනෙකුට ප්‍රතිලාභ ලබා දුන් නිල දූෂණ සහ බදු නීති ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන සාධක බව ද ඇය සඳහන් කර ඇති අතර හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කරන්නේ,එහි බර එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට අරගල කරන ශ්‍රී ලාංකිකයින් මත පැටවීම නොකළ යුතු බවයි.