මොකද්ද මේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත

මොකද්ද මේ අලුත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඇත්තටම මොනවද මේකෙ තියෙන්නේ?

by Staff writer 30-03-2023 | 8:56 PM

COLOMBO (News 1st) – සම්පත් විකිණීම, වෘත්තීය සමිති ප්‍රශ්න අතරේ රජය අලුතෙන් නීති ඇතිකරන්න ගේන පනත් කෙටුම්පත් ගණනාවක් දැන් ඉදිරිපත් කර තිබේ.

ඒ අතර ඇති අලුත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන මේ වනවිට පාර්ශ්ව රැසක් බරපතළ සැකයක් මතුකරමින් සිටියි.

ඔවුන් චෝදනා කරන්නේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මුවාවෙන් විරෝධතා, වෘත්තීය සමිති මෙන්ම සමාජ මාධ්‍ය, මාධ්‍ය ආයතන වගේම මාධ්‍යවේදීනුත් මර්දනය කර නිහඬ කරන නීති ගෙන ඒමට සූදානම් වන බවයි.

කෙටුම්පත දැන් ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති අතර ඕන කෙනෙකුට එය කියවීමට හැකියි.

ඇත්තටම මොනවද මේකෙ තියෙන්නේ?

පවතින ත්‍රස්ත මර්දන නීතියේ දුර්වලතා මග හරවා ගැනීමට බව කියමින් පසුගිය මාර්තු 22 වනදා නිකුත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් පිළිබඳව මේ වනවිට එල්ල වන්නේ දැඩි විවේචනයකි

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ත්‍රස්තවාදය බරපතළ තර්ජනයක් වී  ඇති බව යෝජිත කෙටුම්පතේ පූර්විකාවේම සඳහන් කර තිබේ.

ත්‍රස්තවාදය පිළිබඳව වරද කෙටුම්පතේ දක්වා ඇති අතර එහි දෙවන කොටසේ තුන දෙක ඊ වගන්තියට අනුව යම් අත්‍යවශ්‍ය සේවාවකට හෝ සැපයීම්වලට හෝ ඒ සම්බන්ධ යම් තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප්‍රවාහන පහසුකමකට බාධා ඇතිකිරීම ත්‍රස්තවාදී වරදකි.

එවැනි චෝදනාවකට වරදකරු වුවහොත් වසර විස්සක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ හැකි අතර මිලියනක උපරිම දඩයක් ද  දේපොළ රාජසන්තක කිරීමට ද අවස්ථාව හිමි වේ.

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ 10 වන වගන්තියේ ඇතුළත් ත්‍රස්තවාදය දිරිගැන්වීම සම්බන්ධයෙන් කරුණු ද මේ වනවිට දැඩි අවධානයට ලක්ව තිබේ.

එහි සඳහන් වන්නේ, ත්‍රස්වාදය පිළිබඳ වරදක් සිදුකිරීමට සූදානම්වීමට පෙළඹවීමට හෝ දිරි ගැන්වීමට ජනතාව සෘජුව හෝ වක්‍රව පෙළඹවීම අරමුණු කරන ප්‍රකාශ පළකිරීම වරදක් බවයි.

මුද්‍රිත මාධ්‍ය, අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සහ වෙනත් ආකාරයක ප්‍රසිද්ධ දැන්වීම් ද  මේ නීතියට යටත් කර තිබේ.

එවැනි වරදක් සම්බන්ධයෙන් වසර පහළොවක බරපතළ වැඩ සහිත සිරදඩුවම් පැමිණවීම, රුපියල් මිලියනක උපරිම දඩයක් අයකිරීම සහ දේපොළ රාජසන්තක කිරීමට ද හැකි අයුරින් මේ කෙටුම්පතේ වගන්ති ඇතුළත් වේ.

යෝජිත පනත් කෙටුම්පතට අනුව වරෙන්තු නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ලැබෙන අතර මාස තුනක කාලයක් අනුමත රැදවුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නියෝගය ප්‍රමාණවත් වේ.

පැතිකඩ වැඩසටහනේ දී මේ පිළිබඳව අදහස් පළ කළ නීතීඥ භවානි ෆොන්සේකා...

'' මේ නීතියෙන් ඇත්තටම මට හිතෙන විදිහට ප්‍රොටෙස්ට් එකක් කරන්න බැහැ..ඉලක්ක කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට.දැන් මෙතන ප්‍රොටෙස්ට් විතරක් නෙමෙයි, මට බය මෙතන ආයතනයක් පුළුවන් තහනම් නියෝගයකින් වහන්න පුළුවන් අවුරුද්දකට.දැන් දහවැනි වගන්තියේ තියෙනවා ප්‍රකාශ කිරීමේ නිදහසට උල්ලංඝනය වන විදිහට පුළුවන් ත්‍රස්තවාදයේ ඒ අත්‍ය රිස්ක්‍රිප්ෂන් ගේන්න.ඒ කියන්නේ ත්‍රස්තවාදී වරදක් හැටියට පුළුවන් කියන්න මෙහෙම මාධ්‍යයට මාධ්‍ය ආයතනවලට ප්‍රකාශනයක් කරන්න බැරි වෙන විදිහට රිස්ක්‍රිප්ෂන් ගේන්න පුළුවන්. ඒක ඇත්තටම ලොකු ක්වෙක්ෂන් එකක් තියෙන්නේ මෙතන ඇයි මේ වගේ එකක් මේ වගේ පනතක් ගෙන්නේ..''

            
එසේම පීපල්ස් ටුමෝරෝ සංවිධානයේ,නීතිඥ මනෝජ් නානායක්කාර ද මේ පිළිබඳව අදහස් පළ කළේ ය.

''ත්‍රස්ත විරෝධි පනත සම්මත කරොතින් මතක තියා ගන්න අපිට එකෙන් පස්සේ මේ වගෙ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ වගෙ අදහස් දැක්වීමක්වත් අපිට කරන්න බැරි වෙනවා.සමස්තය කැටි කරලා ගත්තාම පැහැදිලිවම රජයට හිසරදයක් වෙච්ච, රජයට දරා ගන්න බැරි, රජයට මතවාදය ඉවසා ගන්න බැරි මේ උද්ඝෝෂකයෝ සහ අරගලකරුවෝ මර්දනය කිරීම මේ ත්‍රස්ත විරෝධී පනතේ ප්‍රධානම කාරණාව.ඊළග එක තමයි වෘත්තීය සමිති වලට අඩුම තරමේ එළියටවත් බැහැ ගන්න බැරි වෙනවා..''


හිටපු ජනාධිපති, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම පනත් කෙටුම්පත පිළිබඳ අදහස් පළ කරමින් ඊයේ ප්‍රකාශ කළේ , මෙම පනත් කෙටුම්පත අතිභයානක කෙටුම්පතක් බවයි.

''ඇන්ටි ටෙරරිසම් බිල්, ප්‍රතිත්‍රස්ත පනත අති භායානකයි. මේක වටා ජනතාව සංවිධානය වෙන්නම ඕන.අපිට ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්න බෑ.අද මේ කතා කරන විදිහට එහෙම එකක්, මෙතෙන්ට කඩා ගෙන පැනලා අපි ඔක්කොම ඇරෙස්ට් කරන්න පුළුවන්.ඊට විරුද්ධව අපිට දැන් සටන පටන් ගන්න වෙනවා.දේශපාලඥයෝ කියන එක අමතක කරන්නකෝ අපි මේ ‍රටේ සමාජ ක්‍රියාකාරින් අපි ඔක්කොම, මෙතන ඉන්න.අපි වගෙ සමාජ ක්‍රියාකාරීන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා අරගලයෙන්. ජනතාව ඒකරාශි වෙලා තදබල ලෙස යම් දෙයක් ඉල්ලුවොත් එය ලබා ගන්න පුළුවන් කියලා.ඉතින් අපි ඒ අරගල හරි, විප්ලව හරි මොනවා හරි කරන්න වෙනවා මේ රටේ වෙන මුකුත්නම් කරන්න හම්බ වෙන්නේ නෑ...''

        

නිදහස ජනතා සභාව වෙනුවෙන් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළේ ය.

'' තිබුණ එකට වඩා දහ ගුණයක් භායානකයි. ඒ කියන්නේ දැන්  පෙළපාලි ගියොත් ඒක ටෙරරිසම් වෙනවා. ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. එතකොට අත්අඩංගුවට ගන්න පුළුවන්. මාධ්‍යවේදින් පිංතුරයක් අරගෙන මොනවාහරි ලිව්වොත් ඒ අය හිරේ දාන්න පුළුවන්...දැන් ඩිටෙන්ෂන් ඕඩර්ස් ඊෂු කරන්න පුළුවන් ඩිපියුටි ඉන්ස්පෙක්ටර් ජනරල් ඕෆ් පලීස්. නොට් ඔන්ලි ද ප්‍රසිඩන්ට්. ඒක අභියෝගයට ලක් කරලා, උසාවි යන්න බෑ..මෙන්න මේවා පිළිබඳව මම හිතන්නේ අපි අවධානය යොමු කරන්න ඕනි පක්ෂ බේදයෙන් තොරව දැන් මේක පක්ෂ අනුව බෙදන්න ඕන දෙයක් නෙමෙයිනේ. මේ පනත සම්මත කළොත් , ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න බෑ. කොහෙත්ම.''

              
ජාතික සංවිධාන එකමුතුවේ නීතිඥ කල්‍යානන්ද තිරාණගම පළ කළ අදහස් මේ....

''මේ අලුත් පනත කියවද්දි මට ඇතිවෙච්ච හැඟීම තමයි මුසෝලනීට සහ හිට්ලර්ට ලැජ්ජ හිතෙයි කියලා රනිල් වික්‍රමසිංහ එක්ක බලනකොට අපි කවුද කියලා. අපි මොනව ද දන්නේ. ලැජ්ජ හිතෙයි කියල මට හිතුණා කියල මට හිතුනා මේක කියෙව්වම. මොකද ඒගොල්ලන්ට කරන්න බැරි වෙච්ච දේවල් ගොඩක් මෙතුමා කරන්න උත්සාහ කරනවා මේ පනත තුළින්. ඒ සියල්ල කරන්නේ නීත්‍යානුකූලව. ඉතාම සියුම් විදිහට මේ සියලු පව් වහගන්න අධිකරණයේ පාවිච්චි කරමින් කටයුතු කරලා තියෙනවා.''

               
ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත පිළිබදව ජාතික ජනබලවේගය ස්ථාවරය පැහැදිලි කළේ පසුගිය 28 වැනිදායි.


ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් පළ කරමින් කියා සිටියේ,

මේ තියෙන්නෙ අපේ රටේ පැහැදිලිවම වෘත්තිය සමිති මර්දනය කරන්න ගෙනාපු පනතක්. මුද්‍රිත මාධ්‍ය කින් අන්තර්ජාලයකින් සහ වෙනත් මාධ්‍යයක් හරහා ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව ජනතාව දැනුවත් කරනවා නම් ඒකත් ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා.මේ පනත හරහා ප්‍රකාශනයේ භාෂණයේ නිදහස මුළුමනින් ම යටපත් කරලා තියෙනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මුළුමනින් ම යටපත් කරලා තියෙනවා. අපේ රටේ මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මේ පනත හරහා සිද්ධ වෙනවා..''

                 
පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ, අධ්‍යාපන ලේකම්,පුබුදු ජයගොඩ පසුගිය 26 වැනිදා මෙලෙස මේ පිළිබඳව කරුණු පැහැදිලි කළේ ය. 

'' ජනාධිපතිට ඕන වෙලාවක සංවිධාන තහනම් කරන්න පුලුවන්. ඒ සංවිධාන නවත්තපු එක වැරදි කියපු මිනිස්සුන්වත් ත්‍රස්තවාදීන් ලෙස නම් කරන්න පුලුවන්.අන්තිමට මේවා ගැන කාගෙන්ද අභියාචනා කරන්න තියෙන්නේ කාටද ගිහිල්ලා ඉල්ලන්න තියෙන්නේ ඉල්ලන්න තියෙන්නෙත් ආයේ ජනාධිපති පත් කරපු තුන් දෙනෙක්.මේ ඔක්කොම ගත්තම සමස්ථ බලයක් විධායකය අතට අරන් තියෙනවා.අධිකරණය සතුව තිබුණු බලතල පවා විධායකය අතට අරන් තියෙනවා...''

කෙටුම්පත ගෙන එන අධිකරණ හා බන්ධනගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය,ජනාධිපති නීතීඥ ,ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳව පළ කළ අදහස පහතින් -

'' කවුරුහරි කියනවා නම් මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සමඟ ගැටෙනවා නම්, මූලික මිනිස් අයිතිවාසිකම් එක්ක ගැටෙනවා කියලා සම්පූර්ණයෙන්ම ඒ ඕන කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අයිතිය තියෙනවා. ඉන්දියාවේ තියෙන ත්‍රස්ත විරෝධී පනත, මහා බ්‍රිතාන්‍යයේ තියෙන ත්‍රස්ත විරෝධී පනත, මෑතකදී ශක්තිමත් කරමු ජර්මනියේ සහ ප්‍රංශයේ ත්‍රස්ත විරෝධී පනත එක්ක බලපුවහම අපේ එක ඉතාමත්ම අවම මට්ටමේ ක්‍රියාදාමයක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ...''