අධිකරණ සේවා සංගමයෙන්, අධිකරණ සේවා කොමිසමට ලිපියක්.

අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීම වැළැක්විය යුතු බව, දන්වමින් අධිකරණ සේවා සංගමයෙන්, අධිකරණ සේවා කොමිසමට ලිපියක්.

by Staff writer 30-03-2023 | 9:51 PM

COLOMBO (News 1st) – අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීම වැළැක්විය යුතු බව, දැනුම් දෙමින් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක් නිකුත් කර තිබේ.

අදාළ ලිපියේ දැක්වෙන්නේ , ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා මූලික අයිතිවාසිකම් නඩුවකදී නිකුත් කළ අතුරු නියෝගයක් පාදක කර ගනිමින් , අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සාවද්‍ය ලෙස යොදාගනිමින් සිටින්නේද ?යන්න පිළිබඳව අධිකරණ සේවා සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවයි.

ඉකුත් 18 වැනිදා රැස්වූ අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව, එම කරුණ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කර තිබෙන අතර අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර නෛතික අර්බුදයක් නිර්මාණය වීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට තීරණය කර, පළමුව ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම දැනුවත් කළ යුතු බව තීරණය කර ඇත්තේ ඒ අනුවයි.

ව්‍යවස්ථාදායකය, විධායක සහ අධිකරණය යන මහජනතාවගේ පරමාධිපත්‍ය බලතල ක්‍රියාත්මක කරන , ප්‍රධාන ආයතන තුන අතර සංවරණ තුලන ක්‍රමයක් පවත්වා ගෙන යා යුතු බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

එම සිද්ධියට අදාළව විනිශ්චයකාරවරුන්, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් ඉදිරියට කැඳවූවහොත් නීතියේ අධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටි එහි ඊළඟ අනිවාර්ය ප්‍රතිඵලය වශයෙන් රාජ්‍ය යන්ත්‍රණයේ බිඳවැටීමක් සිදුවන බව, අධිකරණ සේවා සංගමයේ විශ්වාසයයි.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට කුමන හෝ අයෙකු විසින් බලපෑම් සිදුකරන්නේ නම්, ඊට එරෙහිව ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකළ ලිපියේ දැක් වේ.