ක්ෂමා සංවිධානයෙන් ලංකාව ගැන අනාවරණයක්

ශ්‍රී ලංකාව ද පුරවැසි විරෝධතා සිදු කිරීමේ අයිතියට බාධා කරන රටවල් අතරින් එකක් - ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ

by Staff writer 28-03-2023 | 7:27 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව ද පුරවැසි විරෝධතා සිදු කිරීමේ අයිතියට බාධා සිදුකරන රටවල් අතරින් එකක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, ඩෙප්‍රොස් මුචීනා පවසයි.

ඔහු මේ බව අවධාරණය කළේ, 2022 - වසර සඳහා ජාත්‍යන්තර ක්ෂමා  සංවිධානයේ ගෝලීය වාර්ෂික වාර්තාවේ දකුණු  ආසියානු කලාපීය වාර්තාව එළිදක්වමිනි.

2022 වසර සඳහා ඉදිරිපත් වු ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන වාර්තාවේ  ගෝලීය වශයෙන් සිදු වූ මානව හිමිකම් කඩකිරීම්  ඉස්මතු කරනු ලැබූ අතර එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැක්වෙන්නේ , පැවති දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් දහස් ගණන් ජනයා ඊට එරෙහිව විරෝධය පෑමත් සමග රජය තමන්ට විරුද්ධ මත පළ කළ පුද්ගලයින්ට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීම තීව්‍ර කළ බවයි.

ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රකාශනයේ හා භාෂනයේ නිදහසට හා සාමකාමීව රැස්වීමේ අයිතියට එරෙහි දරුණු ප්‍රහාර දියත් කළ බවත්, නීති විරෝධී බලය යොදා ගැනීම නිසා මරණ හා තුවාල සිදුවූ බවත් දැක්වේ.

විරෝධතාකරුවන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම අමානුෂික වද හිංසනවලට එහිදී ලක්වූ බවත්, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ගෝලීය වාර්ෂික වාර්තාවේ දකුණු ආසියානු කලාපීය වාර්තාවේ සඳහන් වේ.

මෙම කලාපීය  එළි දැක්වීම වෙනුවෙන් අද (28) කොළඹ පැවති වැඩසටහනේ ,  ප්‍රධාන දේශනය සිදුකළේ, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, ඩෙප්රෝස් මුචීනා මහතායි.