සනත් නිශාන්තට එරෙහි පෙත්සම් 3ක් විභාගයට අවසර

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සනත් නිශාන්තට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අධිකරණයෙන් අවසර

by Staff writer 28-03-2023 | 9:02 PM

COLOMBO (News 1st) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය, සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් ජූනි මස 27 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (28) දින නියම කළේ ය.

මෙම පෙත්සම් අද (28)  අභියාචනාධිකරණ සභාපති විනිසුරු, නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය, සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටි අතර එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අන්තර්ගත බව කියන වීඩියෝ පටයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී ඇති බවයි.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ, රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥවරු අදාළ පෙත්සම විභාගය සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටි අතර ජුනි මස 27 වන දා ඒ සඳහා දින නියම කෙරුණේ ඒ අනුවයි.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර හා ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරුන් දෙදෙනෙකු විසින් එම පෙත්සම් 3ක්  ඉදිරිපත් කර තිබේ.