2022 වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය News1st

News 1st අඛණ්ඩව දෙවන වරටත් වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය ලෙස සම්මානයට පාත්‍රවෙයි..

by Staff writer 25-03-2023 | 10:26 PM

COLOMBO (News 1st) – සත්‍ය සටහන්, බුද්ධිමය විමසුමට යොමු කරමින්, ජනතාවාදී ක්‍රියාන්විත සමග, ජනහිතකාමී යුග මෙහෙවරක නිරත වන නිවුස්ෆස්ට්,අද (25)  පිට පිටම දෙවන වරටත් රයිගම් සම්මානයෙන් පිදුම් ලැබීය. 

ඒ, රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී 2022 වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය බවට පත් වෙමිනි.

රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙල අද (25) උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ කොළඹදීයි.

වසරේ විශිෂ්ටතම රූපවාහිනි වාර්තා වැඩසටහනට හිමි සම්මානය ' වස්ගමු විස්මය ' නිර්මාණය කළ රන්ධික හෙට්ටිආරච්චි දිනාගත්තේ ය.

වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක, ඉංග්‍රීසි මාධ්‍යට හිමි සම්මානය දිනාගත්තේ ටී.වී වන් හි නවේක්ෂා ගුණසේකරයි.

රයිගම් සම්මානය උළෙලේ විශිෂ්ටතම රූපවාහිනි සම්ප්‍රවේශක, දමිළ මාධ්‍ය ශක්ති ටීවි ඥානකුමාරන් ගනාදීපන් දිනාගත් අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් TV1 හි සොනාලි වනිගබදුගේ දිනා ගැන්මට සමත් විය.

වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන සිරස ටීවි නිෂ්පාදනය කළ සජ්ඡායනා වැඩසටහනයි.

ජුරියේ කුසලතා සම්මානය සියත ටීවි නාලිකාවේ විකාශය වන 'ටෙලිවිෂන් ටෙලිවැකිය' අපක්ෂපාති පුවත් සමාලෝචන විශේෂාංගය වෙනුවෙන් ලාල් හේමන්ත මාවලගේ සම්මාන දිනා ගත්තේය.

සෙසු නාලිකා රැසක්ද මෙහිදී සම්මානයට පාත්‍රවිය.

2022 වසරේදීත් නිවුස්ෆස්ට්,රයිගම් සම්මානයෙන් පිදුම් ලැබුවේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය නිවුස්ෆස්ට් බවට යළි යළිත් මතක් කරමිනි.

මීට පෙර පසුගිය 2021 වසරේදී සහ 2019 වසරේදිත් විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය බවට නිවුස්ෆස්ට් රයිගම් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

මේ සම්මානය නිව්ස්ෆස්ට් දිනාගන්නේ ජනතාව වෙනුවෙනි.

අපි හැමවිටම සිටියේ ජනතාව සමගයි..

සැබැවින්ම මෙම සම්මානයේ උරුමක්කාරයින් වන්නේ ජනතාවයි.

ජනතාව වෙනුවෙන් මේ ආකාරයෙන් සම්මානයට පාත්‍රවීමට ලැබීම ගෞරවයක්...