බිග් මැච් තරග උණුසුම..

'රන් මහා සටන' සහ 'ඇතුගල්පුර සටන' ජය පැරදුමෙන් තොරව අවසන්: '123 වැනි රුහුණු මහා නිල් සටනට' කුමක් වෙයිද?

by Staff writer 25-03-2023 | 10:28 PM

කොළඹ, ඩී.එස්. සේනානායක සහ මහානාම විද්‍යාලාන්තර 17වැනි රන් මහා සටන ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඩී.එස්.සේනානායක කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 203ක් රැස් කළ අතර නායක මනුර පීරිස් ලකුණු 98 කි.

ඉරුක කරන්නාගොඩ ලකුණු 62ට කඩුලු 5 ක් රැස් කළේ ය.

මහානාම ක්‍රීඩකයින් පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 255ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර කවිදු අමාමෙත් ශතයක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 111කි.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඩී.එස්.සේනානායක ක්‍රීඩකයින් කඩුළු 5ක් දැවී ලකුණු 242ක් රැස් කරගෙන ඉනිම අත්හිටුවීය.

ඒ අනුව ලකුණු 191ක ඉලක්කයක් හඹා ගිය මහානාම ක්‍රීඩකයින් දිනය නිමාවන විට කඩුළු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 76කි.

මේ අතර කුරුණෑගල මලියදේව සහ ශාන්ත ආනා විද්‍යාලාන්තර 39වැනි ඇතුගල්පුර සටන ජය පරාජයෙන් තොරව අවසන් විය.

වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත ආනා විද්‍යාලය කඩුළු 9ක් දැවී ලකුණු 164ක් රැස් කරගෙන පළමු ඉනිම අත්හිටුවූ අතර 

මලියදේව පළමු ඉනිම කඩුළු 9ක් දැවී ලකුණු 193 ක් රැස් කළේ ය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශාන්ත ආනා ක්‍රීඩකයින් කඩුළු 8ක් දැවී ලකුණු 134ක් රැස් කරගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කළහ.

ලකුණු 106ක ඉලක්කයක් හඹා ගිය මලියදේව ක්‍රීඩකයින් දිනය නිමා වන විට කඩුළු 2ක් දැවී ලකුණු 27ක් රැස් කළේ ය.

මේ අතර මාතර ශාන්ත තෝමස් සහ සර්වේෂස් විද්‍යාලාන්තර 123 වැනි රුහුණු නිල් මහා සටන අද (25)  මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී දෙවැනි දිනටත් පැවැත්විය.

අද (25) දිනය සදහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශාන්ත සර්වේෂස් ක්‍රීඩකයින් කඩුළු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 246කි.

විශ්ව සුපුන් නොදැවී ලකුණු 89ක් රැස් කළ අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 241ක් රැස් කළ අතර ඒ අනුව දෙවැනි දිනය අවසන් වන විට ශාන්ත සර්වේෂස් ක්‍රීඩකයින් ලකුණු 5ක් ඉදිරියෙන් සිටී.