සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාට පිදූ උපහාරය....

රත්මලාන Stein Studios පළමු මැදිරිය, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා නමින් නම් කෙරේ...

by Staff writer 25-03-2023 | 7:16 PM

COLOMBO (News 1st) – මෙරට සිනමාවට ඉමහත් සේවයක් ඉටුකළ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා අනුස්මරණය කරමින් රත්මලාන Stein studios පළමු මැදිරිය, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා නමින් නම් කෙරිණ.

නවීනතම අංගෝපාංග වලින් සමන්විත රත්මලාන Stein Studios,දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණයක් වන අතර අන්තර්ජාතික අත්දැකීම් මෙරට ජනතාවට තිළිණ කරන Stein Studios දැවැන්ත මැදිරි 06 කින් සමන්විතය.

හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය රංගධරයෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා නමින් මෙලෙස නම් කෙරුණේ, Stein Studios හී පළමු මැදිරියයි.

මේ අවස්ථාවට ගාමිණි ෆොන්සේකා මහතාගේ පුත් දමිත් ෆොන්සේකා මහතා ඇතුලු පවුලේ සාමාජිකයින් මෙන්ම ප්‍රවීණ කලාකරුවන් රැසක් එක්ව සිටියහ.

කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කනෝජියා, සමූහ අධ්‍යක්ෂ, ශෙවාන් ඩැනියල් යන මහත්වරුන් ඇතුලු ඉහළ කළමනාකාරිත්වයේ පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.

රංගන ශිල්පී,දමිත් ෆොන්සේකා මහතා -

'' රාජමහේන්ද්‍රන් මහත්තයාව මතක් කරන ගමන්ම, අද නම් කිරීම රංගනය හා සිනමාව සම්බන්ධ ඊළඟ පරම්පරාවටත් සිනමාවේ තිබුණ ඒ ගැඹුර තේරුම් ගන්න ඇතිකරන අවස්ථාවක් කියලා මම හිතනවා. ඒ වගේම එතුමා අප අතරින් වෙන්වෙලා 19 අවුරුද්දට මේ එන්නේ. එච්චර කාලයක් ගිහිල්ලාත් එතුමාව මතකයේ තියාගෙන මහරාජා සමූහ ආයතනය මෙවන් දෙයක් කිරීමේ වටිනාකම මම හිතනවා රටක් හැටියට ඉතා ලොකු වැදගත් කර්තව්‍යක් කියලා..''

කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ, ශෙවාන් ඩැනියෙල් මහතා - 

'' Stein මැදිරි සංකීර්ණය අපේ රටේ වි‍ශේෂයෙන් දුප්පත් දරුවන්ට ඔවුන්ගේ සිහින සැබැ කරදීමටම හදපු තැනක් අපේ හිටපු සභාපතිතුමා.සමහර විට මෙතැනට එන්නේ කොහේ හරි පිටිසර ගමක දුප්පත් දරුවෙක්. නමුත් එයා මෙතනින් පිටත් වෙලා යන්නේ තරුවක් හැටියට. ඒ දරුවන්ට නිරන්තරයෙන් දකින්න ඕනි අපේ රටේ සැබැ මිනිසුන්. ඔවුන් අනුකරණය කරන්න පුළුවන් නායකයින්. ඒ නිසා අපි හිතුවා මේ විශේෂ මැදිරි සංකිර්ණය අපේ රට ජාත්‍යන්තරයට ගෙන ගිය ගාමිණි ෆොන්සේකා මහතා නමින් නම් කරන්න...''

අනතුරුව සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මැදිරියේදී මතකාවර්ජන වැඩසටහනක් පැවැත්වුණි.

මේ උත්කර්ෂවත් මොහොත මෙහෙය වූයේ, කැපිටල් මහාරාජා සමූහයේ මානව සම්පත් සාමාන්‍යාධිකාරී රවී ගමගේ මහතායි.

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතාට ගෞරවය දැක්වූයේ, විනාඩි දෙකක නිහැඬියාවකින් ය.

ගාමිණී ෆොන්සේකා අනුස්මරණ දේශනය සිදු කළේ, සරසවිය පුවත්පතේ කර්තෘ ආචාර්ය, නුවන් නයනජිත් කුමාර මහතායි.


සරසවිය පුවත්පතේ  කර්තෘ, ආචාර්ය නුවන් නයනජිත් මහතා  -

'' එතුමා ලංකාවට පමණක් නෙවෙයි මුළු මහත් ආසියානු කලාපයටම යථාර්තවාදී තාත්වික රූපණයවේදය සොයා ගත් පුරෝගාමියා.එතුමා අනෙක් අය හසුරුවන්න, සමහර විට කවදාවත් රඟපාන්න බැරි අය එතුමාගේ චිත්‍රපටිවල මහ නළුවෝ විදිහට පේන්න ගන්නවා. ඊට හේතුව එතුමා හැම විටිම විශ්වාස කළා ඕනෑම කෙනෙකුට එක්තරා සීමාවකට රඟපෑ හැකියි කියලා..''

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්නම් මහතා ද ගාමිණී ෆොන්සේකා මහතා පිළිබඳ මතක අවදි කළේ ය.

ප්‍රධාන විධායක නිලධාරි චන්දන සූරියබණ්ඩාර මහතා ද මෙහි දී අදහස් පළ කළේ ය.


Stein Studios ප්‍රධාන විධායක නිලධාරි,  චන්දන සූරියබණ්ඩාර මහතා -

'' මේක නිකම්ම එතුමාගේ නම වෙනුවෙන් හැදෙන මැදිරියක් නෙවේ. එතුමා සිනමා ක්ෂේත්‍රය වෙනස් කරා. සිනමා ක්ෂේත්‍රයට අලුත් මූණක් දුන්නා. දැන් අපිට වෙලා තියෙනවා ලෝකයේ මාධ්‍යවල හැසිරීමත් එක්ක අපි ඒ පිම්ම පනින්න.කිසිම දවසක අතීතයක් නැතුව සුන්දර අනාගතයක් හැදෙන්නේ නෑ. ඒ නිසා ඒ.අයි.වලට අභියෝග කරන්න පුළුවන් ඔලු හදන ඊළඟ පියවර තියන්න පුළුවන් දක්ෂයෝ හදන තැනක් බවට මේ තැන පත් කිරීමේ අරමුණ තමයි ගාමිණ් ෆොන්සේකා කියන ඡත්‍රය. ඒ ඡත්‍රය යට අපි අපේ දරුවෝ ටික හදාගමු. ඒ ඡත්‍රය යට අපි අපේ දරුවන්ට අලුත් පාර කියා දෙමු. ඔබටත් පුලුවන් නම් ඔබේ දැනුම අපිට දෙන්න...''