පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන යාම: සැකකරුවෙකු කොටු

පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන යාමේ සිද්ධියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 25-03-2023 | 7:24 AM

COLOMBO (News 1st) – මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන යාමේ සිද්ධියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

36 හැවිරිදි සැකකරු කොරළවැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. 

ඔහු ඊයේ නීතිඥවරයෙකු මාර්ගයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වූ බව පොලිසිය සඳහන් කළේ ය.  

සැකකරු ඊයේ දිනයේ සිට පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබේ.  

මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී විදුලි කාර්මිකයෙකුගේ දෑත් කපා රැගෙන යාමේ සිද්ධිය වාර්තා වුණේ පසුගිය 21 වැනිදා රාත්‍රි කාලයේදී ය. 

තියුණු ආයුධයෙන් පහරදී දෑත් කැපී වෙන්වූ පසු සැකකරු ඒවා රැගෙන ගොස් පලා ගිය අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුම් ආරම්භ කළේ ය.  

පොලිසිය ප්‍රකාශ කළේ, අසල්වැසි නිවෙස් 2ක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග දිග යෑම මෙම පහරදීමට හේතුවී ඇති බවයි. 

40 හැවිරිදි තුවාල ලැබූ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කෙරිණි.