පවිත්‍ර දියවරින් සැනසුම් සුසුම්ලන මහකරඹෑව

අපේක්ෂාව යථාර්ථයක් කරමින් පවිත්‍ර දියවරින් සැනසුම් සුසුම්ලන මහකරඹෑව

by Staff writer 25-03-2023 | 8:06 PM

COLOMBO (News 1st) – අද (25) පුත්තලම දිස්ත්‍රික්කයේ මහකරඹෑව ගමට අමතක නොවන දවසක්.

ඒ වගේම  බම්බලපිටිය ශාත්න පීතර විද්‍යාලයට අද (25)  දවස හොඳට මතක හිටින දවසක්..

තවත් ගමක පානීය ජල ගැටලුව අවසන් කිරීමට  මූලිකත්වය ගත් ගම්මැද්දට හදවතින්ම සතුටු විය හැකි දවසක්.

මේ මහකරඹෑව  ගම්මානය 

අයිති වෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ  කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට.

මේ හමන හුළඟ පවා අද (25)  කියන්න හරි වෙනස් කතාවක් ...

සරලව කිව්වොත් මේ ගමේ පවුල් 530 කට වැඩි ප්‍රමාණයකට අද (25)අලුත් බලාපොරොත්තුවක් ඉටු වුණ දවසක්.

ගමේ වැඩි දෙනෙක් කරන්නේ කුලී වැඩ  එහෙමත් නැත්තම් ගොවිතැන.

ගම හරි ලස්සන වුණාට මේ ජීවිත ඒතරම්ම ලස්සන නෑ කියන කතාවට ඇති තරම් උදාහරණ මේ ගමේ ඕනෑතරම් තිබෙනවා.

ලොකුම ප්‍රශ්නේ ගමටම බොන්න පිරිසිදු පානිය ජලය නැති එක.

ගමේ භූගත වතුර වල කිවුල් සහ ලවනතාවය වැඩියිලු ....

එක මේ ගමේ අහිංසක අම්මලා තාත්තලාට  වයසක ආච්චිලා සීයලාට , පුංචි නංගිලා මල්ලිලාට දැවෙන ප්‍රශ්නයක් වෙලාලු..‍

ඒ නිසාම වකුගඩු වලින් වන්දි ගෙවන්න මේ ජනතාවට සිද්ධ වෙලාලු..

මහා සංවර්ධනය ගැන අපි කතා කරලා මොකටද? කොළඹින් ඈත ගමක ජනතාවට බොන්න පිරිසිදු වතුර පොදක් නැත්තම්...

මේ ගැටලුවට උත්තර දෙන්න ගම්මැද්දට හැකි වුණේ, මුළු මහකරඹෑව ගමටම අලුත් බලාපොරොත්තුවක් එක්කයි.

මහකරඹෑව ගමට පිරිසිදු පානිය ජල ව්‍යෘපාතියක් ලබා දෙන මේ වැඩේදී බම්බලපිටිය ශාන්ත පීතර් විද්‍යාලයේ ශතවර්ෂ පූර්ණය වෙනුවෙන් විද්‍යාලීය  මූල්‍යමය අනුග්‍රහය ලබා දෙනකොට සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික වකුගඩු රෝග නිරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ අනුදැනුම මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෝගයෙන් මෙම ජල පෙරණ පද්ධතිය ඉදි කෙරුණ.


බම්බලපිටිය ශාත්න පීතර විද්‍යලයේ අධක්ෂ, පියතුමන් වන ගරු රෝහිත රොද්‍රිගෝ පියතුමාගේ මග පෙන්වීම මත විද්‍යාලයේ දරුවන් ටිකෙන් ටික එකතු කරපු මුදලින් ප්‍රතිආශ්‍රැත ජල පෙරණ පද්ධතියක් ඉදි කෙරුණු අතර ඒ අනුව කඩිනමින් වැඩ අවසන් වූ ප්‍රතිආශ්‍රැත ජල පෙරණ පද්ධතිය අද (25) මේ ජනතාවට ලබා දුන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ සිසු දරුවන්ගේද සහභාගීත්වයෙනි.


අද (25) මේ උත්සවය සඳහා බම්බලපිටිය ශාන්ත පිතර විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය , පුත්තලම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි,  එච්. සී. ඒ.  පුෂ්පකුමාර මහතා , ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්, රොෂාන් අලහකෝන් , ශ්‍රී ලංකා යුද හමුදාවේ 143 බලසේනා මූලස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් විරාජ් කුමාරසිංහ , ශාන්ත පීතර විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින්  හා ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියල් මහතා ද එක් වූහ.

දැන් මහකරඹෑව ගමේ හැමෝටම හරිම සතුටුයි ...


 බම්බලපිටිය ශා.පීතර විද්‍යාලයේ,අධ්‍යක්ෂ ගරු රෝහිත රොද්‍රිගු පියතුමා - 

'' ගම්මැද්ද ගැන අපේ ලොකු විශ්වාසයක් තිබෙනවා. ඔබ කරන්නා වූ ඒ  වැඩකටයුතු බොහෝම  විනිවිදභාවයෙන් ඔබ කරන බව අපි විශ්වාස කරනවා. ඔබටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මේ ආකාරයෙන් අපේ පාසලට සම්බන්ධ වීමට ඔබෙන් ලැබුණු දායකත්වයට අපි අද දවසේ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.. මම මේ දරුවන්ව අද දවසේ රැගෙන ආවෙත් මේ දරුවෝ දැනගත යුතුයි ඔවුන් ලබාදුන් මුදල් වලට මොනවද? වුණේ කියන. මෙතන ඉන්න දරුවන්, ගුරුවර, ගුරු ගුරුවරියන්, පාසලේ සේවකයන් සෑම කෙනෙක්ම මෙම ව්‍යාපෘතියට පුළුවන් ආකාරයෙන්  සහභාගි වුණා. ඔවුන් දුන්නා වූ ඒ දායකත්වයට මම අද දවසේ ස්තූතිවන්ත වෙනවා. ගුරුවර ගුරුවරියන්ටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා ඒ දැක්වූ සහයෝගයට  සහ මගපෙන්වීමට ගරු පියවරුන්ටත් පාසලේ සියලුම දෙනාටත් අද දවසේ මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. ඔබව ඉදිරියට ගෙනයන මේ වැඩ වැඩපිළිවෙළ තව තවත් සාර්ථක වෙන්න කියලා ඔබ හැමෝටම දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා, ඔබ සැමට ස්තුතියි, ජේසු පිහිටයි.''


කොළඹ ඉඳලා මේ ගමට ආදරය සහ බලාපොරොත්තු පොදි බැඳගෙන ආපු ශාන්ත පීතර විද්‍යාලයේ  දරුවන්ට ඊටත් වඩා සතුටුයි.

ගම්මැද්ද  දීප ව්‍යාප්තව සිදුකරන ව්‍යෘපාති මාලාවේ තවත් ව්‍යෘපෘතියක් අද (25) ජනතාවට අයිතියට පත් විය.