IMF ණය මුදලේ පළමු වාර්කය නුදුරේදීම ශ්‍රී ලංකාවට

IMF ණය මුදලේ පළමු වාර්කය නුදුරේදීම ශ්‍රී ලංකාවට ''මුලින්ම දෙන්නේ ඩො. මි.333 ක පමණ මුදලක්'' - මසහීරෝ නොසාකි

by Staff writer 21-03-2023 | 8:18 PM

COLOMBO ( News1st ) -  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කළ  අමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලට අදාළ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක මුදල ඉදිරි දින කිහිපය තුළ මුදා හරින බව එම අරමුදලේ ජ්‍යෙෂ්ඨ කාර්යය මණ්ඩල ප්‍රධානී, පීටර් බෲවර් මහතා පවසයි.

අද (21) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පරිපාලනමය වශයෙන් ව්‍යුහාත්මක වැඩපිළිවෙළක් හඳුන්වාදුන් පළමු රට ශ්‍රී ලංකාව බවයි.

ණය මුදලින් කොටසක් අයවැය කටයුතු සඳහා යොදා ගැනීමට මේ අනුව අවස්ථාව ලැබී තිබේ.

විධායක මණ්ඩලය ගත් තීරණය දැනුම්දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ  කාර්යය මණ්ඩල ප්‍රධානී, පීටර් බෲවර් සහ කාර්යය මණ්ඩල ප්‍රධානී, මසහීරෝ නොසාකි යන මහත්වරුන් අද (21) පෙරවරුවේ මාධ්‍ය හමුවකට සහභාගී වූහ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ,  ශ්‍රී ලංකාවේ කාර්යය මණ්ඩල ප්‍රධානී,මසහීරෝ නොසාකි -

"මෙය මූල්‍යමය අයවැය රුකුළක්.මුලින්ම ලබාදෙන්නේ ඩොලර් මිලියන 333 ක පමණ මුදලක්.එය රජයේ භාවිතයට ලබාදෙනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා බලධාරීන් සමග ඇතිකරගත් ගිවිසුම අනුව ආනයන සීමා හා විනිමය සීමා ඇතුලු විවිධ සීමා ඉවත් කිරීමට සැලැස්මක් බලධාරීන් ඉදිරිපත් කළ  යුතුයි.එම සැලැස්ම මෙම වසරේ ජුනි මාසය වනවිට ඉදිරිපත් කළ  යුතුව තිබෙනවා.එම සැලැස්ම හරහා කාලයත් සමග ශ්‍රී ලංකාවට ගෙවුම් ශේෂය සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබෙයි.ඒ මගින් සීමා ලිහිල් කිරීමට පුළුවන්.මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සංචිත වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබෙනවා.ඒ හරහාත් ගෙවුම් ශේෂය සාමාන්‍ය තත්ත්වයට පත්කරගන්න පුළුවන්.බලධාරීන් මේ වනවිට නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.විනිමය අනුපාත තීරණය වන්නේ කිසිදු සීමාවකට යටත් නොවී වෙළෙඳපොළ තත්ත්වයන් මතයි.මෙම වැඩසටහනේ තවත් වැදගත් අංගයක් වන්නේ ශ්‍රී ලංකා මහබැංකුව 2023 වසරේදී ඩොලර් බිලියන 1.4 ක් විදේශ විනිමය ලෙස මිලදී ගැනීමට කැපවී සිටීමයි.එය සෘජුවම වෙළෙඳපොළෙන් කරන මිලදී ගැනීමක්.සංචිත ගොඩනැගීමට එය රුකුළක් වෙයි.ඒ සඳහා නම්‍යශීලී විනිමය අනුපාත ඉතා වැදගත්."

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9 ක ණය මුදල අනුමත කර ඇත්තේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා මූලධර්ම 5 ක් මත පදනම්වයි.

මේ එම කරුණු පහ වන්නේ, 
සමාජ ආරක්ෂණ පද්ධතියක් ඇතිකිරීම, ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකිරීම, පිරිවැය ගැලපුම් ගාස්තු ක්‍රමයක් හරහා අත්‍යාවශ්‍ය වියදම්වලට සහයවන ආදායම් මත පදනම් වූ  මූල්‍ය ඒකාග්‍රතාව ඇතිකර ගැනීම. 

රජයේ කටයුතු ස්ථාවර මූල්‍ය පදනමක් යටතේ සිදු කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකර ණය තිරසරභාවය ඇතිකර ගැනීම.

උද්ධමන පීඩනයෙන් මිදීමට ස්ථාවර මිල ක්‍රමවේදයක් සහ විනිමය අනුපාත වඩාත් නම්‍යශීලී කර සංචිත වර්ධනය කිරීම තුළින් ආයෝජනයට හිතකර පරිසරයක් ඇතිකිරීම හා විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇතිකර ගැනීම.

ආර්ථික වර්ධනයට මූල්‍ය ක්ෂේත්‍රයට ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටුකිරීමට උපකාරීවන ප්‍රතිපත්ති හඳුන්වාදීම.

දූෂණයට වඩාත් නැඹුරුවිය හැකි කොටස් වහා ප්‍රතිසංස්කරණය කිරීම.


 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ කාර්යය මණ්ඩල ප්‍රධානී, පීටර් බෲවර් -
 
ඊ.එෆ්.එෆ්. වැඩ සටහන යටතේ ඇති ප්‍රමුඛතම සාධකය තමයි දූෂණ මැඩලීම හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ.මෙම ප්‍රතිසංස්කරණ හරහා අත්කරගන්නා ප්‍රතිලාභ ශ්‍රී ලාංකික ජනතාවට ලැබිය යුතුයි.රජය එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිවලට අනුකූලව මහජන මුදල් කලමනාකරණය හා දූෂණ විරෝධී නීතිරාමු ඉදිරිපත් කිරීමට කැපවී සිටිනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ පරිපාලන ව්‍යුහාත්මක වැඩසටහනක් ගෙන යන පළමු රට ශ්‍රී ලංකාවයි.සියලුම පාර්ශ්ව හා සිවිල් සමාජ කොටස් සමග ඉතා සමීපව මේ පිළිබඳව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වනවා."


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ,  ශ්‍රී ලංකාවේ කාර්යය මණ්ඩල ප්‍රධානී, මසහීරෝ නොසාකි -

වත්කම් ප්‍රකාශ කිරීම හා වත්කම් නැවත ලබාගැනීම සදහා දූෂණ විරෝධී නීති හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටිනවා.වත්කම් ප්‍රකාශන කොටස නුදුරු අනාගතයේදීම දූෂණ විරෝධී පනත හරහා කරලියට එයි.නමුත් වත්කම් නැවත ලබා ගැනීමේ වැඩසටහන දීර්ඝ ක්‍රියාවලියක් බැවින් එය ලබන වසරේ මාර්තු මාසය වනවිට කරලියට පැමිණෙයි."

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය මුදල අනුමත කර ඇත්තේ, ඉලක්කගත වැඩපිළිවෙළක් අනුවයි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ,ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ කාර්යය මණ්ඩල ප්‍රධානී, පීටර් බෲවර් - 

"2032 වන විට ශ්‍රී ලංකාවේ ණය දළ දේශීය නිෂ්පාදනයෙන්  95% ක් දක්වා අඩුවිය යුතුයි.දෙවනුව 2027 හා 2032 ඇතුළත ශ්‍රී ලංකාවේ වර්ධනයට අදාළ මූල්‍ය අවශ්‍යතා දළ දේශීය නිෂ්පාදනයෙන් 13% කට වඩා අඩු අගයක් විය යුතුයි.ඊට අමතරව තුන්වන කරුණ වන්නේ 2027 සිට 2032 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජයේ වාර්ෂික ණය ගෙවීම විදෙස් මුදලින් දළ දේශීය නිෂ්පාදනයට වඩා  4.5% කට වඩා අඩුවිය යුතුයි.එය 2022 වසරේ තිබූ  9 % ප්‍රතිශතයට වඩා අඩුවිය යුතුයි.මේ දක්වා ශ්‍රී ලංකාව සහය ලබාගත් නීතිමය සහ මූල්‍යමය උපදෙස් ලබාදෙන සමාගම් හරහා ණය ප්‍රතිව්‍යුහගතකරණ උපාය මාර්ගයක් අප්‍රේල් මස අග වනවිට ඉදිරිපත් කිරීමට කැපවී තිබෙනවා.මෙම උපාය මාර්ගය ඔස්සේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා ණය ලබාදුන් පාර්ශ්ව සමග ඇතිකරගෙන මෙම ඉලක්ක කරා ගමන් කළ හැකියි.මෙම ඉලක්ක කරා ශ්‍රී ලංකාව ගමන් කිරීම අප හඳුන්වන්නේ, ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවයක් ඇතිකර ගැනීමක් ලෙසයි.''

නිව්ස් ෆස්ට්,සුල්ෆික් ෆර්සාන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (21) උදෑසන නිකුත් කළ  නිවේදනයේ සඳහන් වනවා දුප්පත් හා අවදානම් කොටස්වලට සමාජ ආරක්ෂණ පද්ධතියක් ඉදිරිපත් කිරීම පිළිබඳව.මගේ ප්‍රශ්නය ඉදිරියේදී ලැබෙන ණය මුදලේ පළමු කොටස මේ සඳහා අයවැය උපකාරයක් ලෙස ඇතුළත්කර තිබේද? එසේ නම් එම මුදල වෙන්කර ඇත්තේ කුමන අවස්ථාවේදී මුදාහරින ණය වාරිකයෙන්ද? එසේ නැත්නම් සමාජ ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් රජයට අයි.එම්.එෆ්. දෙන උපදෙස කුමක්ද?


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ශ්‍රී ලංකාවේ කාර්යය මණ්ඩල ප්‍රධානී, මසහීරෝ නොසාකි - 

පළමුව මේ වැඩසටහන යටතේ රජයට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සඳහා වියදම් කළ  හැකි අවම මුදලක් වෙන්කර තිබෙනවා.2023 වසර සදහා එය රුපියල් බිලියන 187 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන්  0.6% ක මට්ටමක පවතිනවා.එය 2022 වසරේ සිදුකළ අයුරින් ප්‍රතිලාභීන් ඉලක්ක කර සිදුකළ  යුතුයි.අවම මුදල් කොටසක් වෙන්කර තිබෙන නිසා මෙම වියදම් පිළිබඳව අපි නිරීක්ෂණය කරනවා.ඊට අමතරව සමාජ ආරක්ෂණ පද්ධති වර්ධනය සහ ප්‍රවර්ධනයත් වැදගත්.මේ වනවිට දුප්පත් සමාජ කොටස්  40% ක් මෙයට ඇතුළත්.එය තවදුරටත් වර්ධනය විය යුතුයි.ඊට අමතරව මෙම සමාජ ආරක්ෂණ පද්ධති ඇතැම් පොහොසත් පවුල් කොට්ඨාසවලටත් යන බව නිරීක්ෂණය වෙලා තියෙනවා.මෙම මුදල්වලින්  10%  ක් පමණ එලෙස පොහොසත් පවුල් වලට යනවා.එය වහා නිවැරදි කළ යුතුයි.මෙම ප්‍රතිසංස්කරණය 2023 වසර පුරා සිදුවන අතර වසර මැද භාගයේදී සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙවීම් ක්‍රමවේදයක්ද හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.අයි.එම්.එෆ්. මුදල් මුදාහැරීම් එක් එක් වියදම් ඉලක්ක කර සිදුවන්නක් නොවේ.අප ලබාදෙන මුදල් සහ අනෙකුත් පාර්ශ්ව ලබාදෙන මුදල් අතර වෙනස එයයි.එය රජයට වියදම් කරන්න පුළුවන් ඉලක්ක ගත වියදම් වෙන්කිරීමක් නැහැ" 

බදු සංශෝධන සම්බන්ධයෙන් නැගෙන විරෝධතා පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් විමසීමක් කළේ ය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ,  ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ කාර්යය මණ්ඩල ප්‍රධානී,පීටර් බෲවර් -

බදු ආදායම් වැඩි කර ගැනීම වර්ධනය ඉල්ලක කර ගත් ක්‍රමයක් හරහා සිදු කළ යුතුයි. එය දුප්පත් සහ අධි අවදානම් සමාජ කොට්ඨාස ආරක්ෂා කරන ක්‍රමයක් විය යුතුයි. හැකියාවක් ඇති අය රජයේ අත්‍යාව්‍යශ වියදම්වලට මුදල් වියදම් කිරීම හරහා සහයෝගයක් දැක්වීමත් ඉතාම වැදගත්. රජය විසින් හදුන්වා දී ඇති පුද්ගල ආදායම් බද්ද ඇතුළු නව බදු මෙම ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වන්නක්. ශ්‍රී ලංකා බලධාරීන් විසින් යෝජනා කර ඇති බදු ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන අනෙක් රටවල්වල ප්‍රතිපත්ති හා සමානයි. මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ ආදායම් මට්ටම්වලට සමාන හෝ ඊට වඩා අඩු රටවල් ශ්‍රී ලංකාවේ බදුවලට වඩා වැඩි බදු ප්‍රතිශතයක් අය කරනවා.අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව සුදුසු ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවයි කියලා.''

අද (21) පැවති මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළේ,  රටේ  ඡන්ද පැවැත්වීම වැනි කරුණුවලට ඔවුන් මැදිහත් නොවන බවයි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ශ්‍රී ලංකාවේ කාර්යය මණ්ඩල ප්‍රධානී, මසහීරෝ නොසාකි -

'' මම කියන්න කැමතියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු රටක මැතිවරණ ක්‍රියාවලිය සමග මැදිහත් වන්නේ නැහැ.ශ්‍රී ලංකාව ගත්තොත්, මැතිවරණයක් යනු ශ්‍රී ලංකා රජයට හා ජනතාවට අයත් කරුණක්.මැතිවරණ සම්බන්ධයෙන් අපේ මැදිහත්වීමක් ගැන ඇතැම් ප්‍රකාශ නිකුත්කරලා තියෙනවා.මම පැහැදිලි කළ යුතුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෙස අප කිසිදු අයුරකින් ශ්‍රී ලංකාවේ මැතිවරණ කල් දැමීමට නිර්දේශ කර නැහැ."