IMF ණය පහසුකම අනුමත කිරීම දක්වා පැමිණි ගමන් මග මතකද?

by Staff writer 21-03-2023 | 8:52 PM

COLOMBO ( News1st ) -  කොවිඩ් වසංගතයේ අවසන් කාලසීමාව වනවිට අපේ රට බරපතල විදේශ විනිමය අර්බුදයකට ලක්විය.

2021 මැයි මාසය වනවිට රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීම ඇතුලු ආනයන සීමා පනවා තත්ත්වය පාලනය කර ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ.

විද්වතුන් දිගින් දිගටම එම අවස්ථාවේ ප්‍රකාශ කළේ,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට යා යුතු බවයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරිපාලනය එය දැඩි ලෙස බැහැර කරමින් අවධාරණය කළේ, විදේශීය විනිමය අර්බුදයක් නොමැති බවයි.

අර්බුදය මතුවෙමින් තිබියදී රටේ ඉතිරිවී තිබූ සංචිතවලින් ඩොලර් මිලියන 500 ක ස්වෛරී බැදුම්කර ගෙවාදැමීමට තීරණය කළේ, 2022 ජනවාරි 18 වන දිනයි.

එම තීරණය නිවැරදි නොවන බව සනාථ කරමින් උග්‍ර තෙල් හා ගෑස් ඇතුළු බරපතල බලශක්ති අර්බුදයක් නිර්මාණය වූයේ ඉන් පසුවයි.

බලශක්ති අර්බුදය ජනතා විරෝධතා දක්වා උත්සන්න වෙද්දී එවක රජය ප්‍රශ්නයට විසදුම් සෙවීමට උත්සාහ කළේ, අවස්ථා කිහිපයකදී ඉන්දියාවෙන්, චීනයෙන් හා බංග්ලාදේශයෙන් ලබාගත් විනිමය හුවමාරු පහසුකම් වලිනි.

නමුත් ප්‍රශ්නය උග්‍ර තත්ත්වයට පත්වීම හමුවේ අවසානයේ එවක මුදල් ඇමතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට තීරණය කළේ ය.


2022 පෙබරවාරි 02,කොළඹ
බැසිල් රාජපක්ෂ ,මුදල් අමාත්‍ය
 
''නිල වශයෙන් අපි ඉල්ලීමක් කරලා නැහැ.නමුත් අපි ලිඛිතව ඉල්ලා තියෙනවා ඔවුන්ගේ සහයෝගය අපිට දෙන්න කියලා.විශේෂඥ දැනුම.උපදෙස් භාර ගන්නවද?  නැද්ද? කියන එක මට තනියෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ''

මේ ප්‍රකාශයෙන් සති කිහිපයකට පසුව 2022 මාර්තු 7 වනදා විනිමය අනුපාත නම්‍යශීලීවීමට ඉඩ හැරීමට තීරණය කළ අතර එහි ප්‍රතිඵලය වූයේ සති කිහිපයක් තුළ රුපියල් 2022 සීමාවේ පැවති අමෙරිකානු ඩොලරය මාස කිහිපයක් තුළ රුපියල් 360 ඉක්මවා යාමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ක්‍රියාත්මක වෙද්දී එහි ස්වභාවය අනාවරණය නොකිරීමට එවක රජය වග බලාගත් අතර එවක විපක්ෂ මන්ත්‍රී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතිකර ගැනීමට යන එකඟතා ගැන පුන පුනා ප්‍රශ්න කළේ ය.


2022 මාර්තු 23
රනිල් වික්‍රමසිංහ - නායක
එක්සත් ජාතික පක්ෂය 
 
''රජයෙන් කිසිම විනිවිදභාවයක් හෝ කැපවීමක් අද වනතුරු අපි දැකල නැහැ.අදාළ දත්ත අපිට ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත."

බැසිල් රාජපක්ෂ - 
  
''සමාවෙන්න ඒ අයි. එම්. එෆ්. වාර්තාව අපිට සම්පූර්ණෙන් ඇවිල්ලා නෑ.''

රනිල් -
 
''ඒගොල්ලෝ කියලා තියනවා එව්වා කියලා ''

බැසිල් රාජපක්ෂ -
 
''නෑ නෑ අපිට ඇවිල්ලා නෑ''

රනිල් - 
 ''එහෙනම් අපි අහමු.නැත්තම් ජනාධිපතිතුමාව දැන් හරි එහාට එන්න කිව්වත් අපිට මේක කතා කරලා විසඳගන්න..''

බැසිල් රාජපක්ෂ -
 ''ඇවිල්ලා නෑනේ.අපි ඒක යවලා තියනවා අපිට ඩ්රාෆ්ට් එක එවලා තියනවා ඩ්රාෆ්ට් එක අපි අපේ අදහස් එක්ක..''

රනිල් -
'' ඔබතුමා පිළිගන්නවා ඩ්රාෆ්ට් එක ආවා කියලා මෙතෙක් කල් කිව්වා ආවේ නෑ කියලා ..''

මේ සංවාදයෙන් සති දෙකකට පමණ පසුව එනම් 2022 අප්‍රේල් 06 වෙනිදා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අභියෝගාත්මක මහබැංකු අධිපතිධුරය භාරගත්තේ ය.

අර්බුදයට ඇති එකම පිළියම ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට සාකච්ඡා කිරීම බව විශ්වාස කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩසටහනට මුල පිරුවේ අප්‍රේල් 12 වනදා ශ්‍රී ලංකාව තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවන බව නිවේදනය කරමින් ය.

ඒ සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වඩාත් පුළුල් පරාසයකින් සිදුකළ අතර සාකච්ඡාවට කිහිපයකින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණ තීරණාත්මක සාකච්ඡා වට ආරම්භ කළේ, 2022 අගෝස්තු 24 වන දිනයි.

සාකච්ඡා වටය අවසානයේ සැප්තැම්බර් 01 වනදා ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබාදීමට අදාළව කාර්යය මණ්ඩල එකගතාව ඇතිකර ගැනීමට හැකියාව ලැබුණි.

නමුත් ණය මුදල මුදා හැරීමට අදාළව විධායක කමිටු එකඟතාව අවශ්‍ය වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා අපේක්ෂිත ඉලක්ක කිහිපයක් ඉදිරිපත් කර තිබුණි.

ණය ආපහු ගෙවීමට ඇති හැකියාව ඇතිකර ගැනීම, විදුලිය, ඉන්ධන හා ගෑස් ඇතුලු බලශක්තිය සඳහා පිරිවැය ගැළපුම් ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම, බදු සංශෝධන, අධි අවදානම් කණ්ඩායම් ආරක්ෂා කර ගැනීම මෙන්ම දූෂණය වැළැක්වීමට අදාළ යෝජනා ඊට ඇතුළත් වේ.

පිරිවැය ගැළපුම් ගාස්තු ක්‍රමය වහා හඳුන්වා දුන් අතර තෙල්, ගෑස් විදුලිය මිල වැඩි වූයේ, එහි ප්‍රතිඵලයක් ලෙසයි.


බදු සංශෝධන හා සිදුකළ යුතු ආයතනින ප්‍රතිසංස්කරණ සදහා අදාළ යෝජනා ගනනාවක්ද ක්‍රියාවට නැගූ අතර ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශ්ව වලින් ණය ආපසු ගෙවීමට අදාළව සහතික ලබා ගැනීමට අදාළව සාකච්ඡා ද දිගින් දිගටම ක්‍රියාත්මක වීය.

ඉන්දියාව හා පැරිස් සමාජයේ සාමාජික ද්වීපාර්ශ්වික ණය හිමියන් අපේක්ෂිත ණය සහතිකය ලබාදුන් අතර චීනය මුලින් ලබාදුන් සහතිකය ප්‍රමාණවත් නොවීම නිසා පසුව සෑහීමකට පත්විය හැකි සහතිකයක් ලබාදීමට පියවර ගත්තේ ය.

අනතුරුව ජනාධිපතිවරයා පසුගිය සතියේ අදාළ පාර්ශ්ව අමතා යොමුකළ  ලිපියත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ ( 20 ) රැස්වී ශ්‍රී ලංකාවට අදාළ ණය මුදල ලබාදීමට අනුමැතිය ලබා දුන්නේ ය.