විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර බැංකු ඇපකරය ඉහළට

විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර නිකුත් කිරීමේදී තබා ගන්නා බැංකු ඇපකරය මි. 3ක් දක්වා ඉහළට

by Staff writer 21-03-2023 | 3:55 PM

COLOMBO (News 1st) - විදේශ රැකියා ඒජන්සි ආයතන බලපත්‍රය නිකුත් කිරීමේදී තබා ගන්නා බැංකු ඇපකරය රුපියල්  750,000 සිට රුපියල් මිලියන 3 ක් දක්වා ඉහළ දමා තිබේ. 

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දෙවන වසරේ සිට එය මිලියන 5 දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කරන බවයි. 

ඒජන්සි ආයතන මගින් විදෙස්ගත වන පුද්ගලයින්ගේ සේවා ගිවිසුම් අනුව ඔවුන්ට හිමි වැටුප් හා අනෙකුත් දීමනා නොගෙවීම් සම්බන්ධයෙන් පැමිණිලි විභාගයකින් පසුව තක්සේරු කරනු ලබන වැටුප් දීමනා ගෙවීම්, අතිරේක මුදල් අයකර ගැනීම් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ ඒජන්සි ආයතනයට ගෙවීම් සම්බන්ධව නියෝග නිකුත් කරන බව අදාළ නිවේදනයේ සඳහන් ය. 

එම ගෙවීම් සිදු කිරීමට ඒජන්සි ආයතනය කටයුතු නොකරයි නම්, ඔවුනගේ බැංකු ඇප මුදලින් නීත්‍යනුකූල පරිදි අයකර ගැනීම් සිදු කරන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි. 

ඉදිරියේදී ඒජන්සි ආයතනයන්හි ක්‍රියාකාරීත්වය දැඩි නියාමනයකට ලක් කිරීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපේක්ෂා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.