ලබන මාසයේ තෙල් මිලට සහනයක්?

ලබන මාසයේ තෙල් මිලට සහනයක්,අලුත් සැපයුම්කරුවන් තිදෙනෙකුටත් අවස්ථාව - ඇමති කංචන

by Staff writer 21-03-2023 | 8:26 PM

COLOMBO ( News1st ) -  අප්‍රේල් මාසයේ දී  ඉන්ධන වලින් දැනෙන සහනයත් ලබා දීමට  කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා පැවසීය. 

 "රුපියල ශක්තිමත් වෙනවා පේනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාත් අපිට උපදෙස් ලබා දීලා තියෙන ආකාරයටම අපි අප්‍රේල් මාසයේ සංශෝධනය කරන එකට අපි ජනතාවට කියනවා, ජනතාවට දැනෙන සහනයක් ඉන්ධනවලින් අපි ලබාදෙන්න කටයුතු කරනවා කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා.එතකොට අපිට පේනවා අපි අනිවාර්යෙන්ම දෙසැම්බර් මාසේ සංශෝධනය වෙනකොට ඒ සහනයත් විදුලි බිලටත් ලබාදීම සඳහා අපිට පුළුවන් වැඩපිළිවෙළක් ලැබෙනවා''


තවද අද (21)  පාර්ලිමේන්තුවේදී ඇමැතිවරයා අවධාරණය කළේ,  විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීති ගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණ  වැඩපිළිවෙළ එකදු අඩියෙකින් හෝ ආපස්සට ගැනීමට සූදානම් නොමැති බවයි.

තවද ඉදිරි සති දෙක ඇතුළත මෙරටට නව ඛණිජ තෙල් සැපයුම්කරුවන් තිදෙනෙකු හඳුන්වාදෙන බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

එසේම ඇමතිවරයා තව දුරටත් ප්‍රකාශ කළේ, තරගකාරීත්වයක් ඇති කිරීම සඳහා ජාත්‍යාන්තර මට්ටමේ ඉන්ධන සැපයුම්කරුවන්ට මෙම  වෙළෙඳපොළ විවෘත කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ  මැයි මාසයේ දී තීරණය කළ බවයි.